සුදු කෙස් කළු කරගන්න සුදුසුම ක්‍රමය කුමක් ද?

ජනවාරි 22, 2020

දීප්තිමත් කළු දුඹුරු පැහයෙන් යුත් කෙස් කලඹ ළඳකට වාසනාවක්. එය ඇගේ රුව ඔපකරන පලඳනාවක් වැනිය. සොබාදහම තිළිණ කළ මේ ලස්සන දායාදය හැමදාමත් එලෙසම තියෙන්නේ නැහැ. අතරින් පතර කෙස් ගහක් දෙකක් සුදුවීගෙන එනකොට තමයි තමන්ගේ කොණ්ඩය ගැන කාටත් මතක් වෙන්නේ.

ඒ කොණ්ඩය සුදු වීම රුවේ අලංකාරයට බාධාවක් නිසාමයි. එමඟින් වියපත්වීම වැඩිකර පෙන්වන අතර එය රූපය අවලස්සන කිරීමට ද ඉවහල් වෙනවා.

ඒ අතර අකලට හිසකෙස් පැසීම, කෙස්වල දුර්වර්ණ ස්වභාවය කෙනකුගේ පෞරුෂය පහත දැමීමට මහත්සේ බලපාන සාධකයක් වේ.

එමෙන්ම එමඟින් ඇතිවන රුවේ අවලස්සන ස්වභාවය නිසා මානසිකව අසහනකාරී තත්ත්වයක් ගෙන දීමට පවා ඉවහල්වන අවස්ථා ද දැක තිබේ.

ඒ නිසාම තම සුදු පැහැ වූ කෙස් කලඹ කළුකර ගැනීමට බොහෝ දෙනා හෙනා, ඩයි, කලර් වර්ග පාවිච්චි කරයි. නමුත් මේවා භාවිත කිරීමට පෙර ඒ පිළිබඳ මනා දැනුවත්භාවයක් ලබාගැනීම වැදගත්.

බොහෝ කාන්තාවන් තම සුදු වූ කෙස් කලඹ කළු පැහැ කරගැනීමට භාවිත කරන්නේ හෙනා වර්ග.

හෙනාවලින් අපට ලබාගත හැකි වන්නේ කළු පැහැයත් දුඹුරු පැහැයත් පමණයි. බ්ලැක් හෙනා භාවිතයට වඩා ස්වාභාවික හෙනා භාවිතය ආරක්ෂිත වන්නෛ් ස්වාභාවික හෙනාවල ස්වාභාවික ශාක සාර පමණක් අඩංගු වන නිසයි.

බ්ලැක් හෙනාවල අධිකව රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර, ඉක්මනින් කෙස් කලඹට කළු පැහැය ගෙන දෙයි.

නමුත් හෙනා භාවිතයෙන් බොහෝ විට කෙස් කලඹට ගෙන දෙන්නේ කෘත්‍රිම පෙනුමක්.

ඒ නිසාම හිසකෙස් කළු කිරීමට වර්තමානය වනවිට ඩයි කිරීම සහ කලර් කිරීම යන නව ක්‍රම ද භාවිත කරයි.

හෙනා කිරීම, ඩයි කිරීමෙන් වෙනස්වන්නේ ඒ සඳහා භාවිත කරන ක්‍රමවේදයත් එය පවතින කාලයත් නිසාය. ඒ වගේම ඩයි කිරීමෙන් ස්වාභාවික පෙනුමක් ලබාගත හැකියි. හෙනා පැහැය කෙස් ගසෙහි පවතින්නේ දවස් කිහිපයකි. නමුත් ඩයි කිරීමෙන් කළු පැහැය මාස කිහිපයක් පවත්වා ගත හැකියි. එය තීරණය වන්නේ කෙස් කලඹේ ස්වභාවය මතත්, කෙස් කලඹ සෝදන වාර ගණනත් අනුවය.

 

උපදෙස්

ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පී

තිලක් ද සිල්වා

 

2020/01/22 තරුණි බලන්න