බ්ලීචිං නිසා සමට හානි වෙලා

පෙබරවාරි 12, 2020

ප්‍රශ්නය - 23 හැවිරිදි මට පෙරදී තිබුණේ තලෙළු සමකි. සම පැහැපත් කරගැනීමේ අරමුණින් විවිධ ක්‍රීම් වර්ග මුහුණෙහි ආලේප කළෙමි. පසුව සුදු පැහැති සමක් ලැබුණ ද දැන් මුහුණ පුරාම බිබිලි මතු වේ. තැනින් තැන කළු පැහැ වී ඇත. ඊට කුමන ක්‍රීම් වර්ගයක් භාවිත කළ ද ප්‍රතිඵලයක් නොමැත. මෙය දැඩි මානසික පීඩාවකි. යළි සම පැහැපත් කරගැනීමට කුමක් කළ යුතු ද?

කුරුණෑගල - සඳුනිකා

පිළිතුර

සම පැහැපත් කරනවා කියන අධික රසායනික ද්‍රව්‍ය අඩංගු බ්ලීචිං ක්‍රීම් පාවිච්චි කිරිමෙන් මෙවැනි ගැටලුවලට මුහුණ පෑමට සිදුවේ. මෙහිදී සිදුවන්නේ සතියෙන්, දෙකෙන් මුහුණ සුදු වී ඒ ඉක්මනින්ම මුහුණ තිබුණාටත් වඩා අවලස්සන වීමයි.

මෙය පිළිකාමය තත්ත්වයන්ට ද හේතු විය හැකියි. ඒ නිසා මුහුණේ සුදු පැහැයට වඩා මුහුණෙහි නිරෝගී බව ගැන සිතා ආලේපන මිලදී ගන්න. හැකි සෑමවිටම ස්වාභාවික ශාක සාර අඩංගු ආලේපන වර්ගම මිලදී ගන්න.

පළමුව ඔබ සති දෙකක් පමණ ඔබේ මුහුණේ සමට විවේකයක් ලබාදෙන්න. ඒ කාලය තුළ කිසිදු ක්‍රීම් වර්ගයක් භාවිත කිරීමෙන් වළකින්න.

සත්කාර ඇරැඹීමට පෙර මැරුණු සම ඉවත්කර ගැනීම වැදගත්. මැරුණු සම තිබිය දී සත්කාර කිරීමෙන් ඔබට අවශ්‍ය ප්‍රතිඵලය නොලැබී යාවි. ඒ සඳහා රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙත යෑම සුදුසුයි. නැතිනම් මුහුණ හොඳින් ස්ක්‍රබ් කර ඔබට වුවත් එය කළ හැකියි.

රාත්‍රී නින්දට පෙර මී කිරි සහ මී පැණි මිශ්‍රකර තලපයක් සාදා මුහුණේ ආලේපකර විනාඩි 20 ක් තබා සෝදා හරින්න. ඒ සඳහා යෝගට් භාවිත කරන්නත් පුළුවන්. මේ සත්කාරය නොකඩවා මාස තුනක කාලයක් කරන්න.

සතියකට දෙවරක් ලෙමන් වතුරෙන් මුහුණ සෝදන්න. පළමුව ලෙමන් පළුවක් කෝප්පයකට මිරිකන්න. එයට සමාන ප්‍රමාණයක් පිරිසුදු වතුර එක් කරන්න. ඒ වගේම පිපිඤ්ඤා යුෂ අයිස් වතුර සමඟ මිශ්‍රකර මුහුණ සේදීමත් සුදුසුයි.

ඉන්පසු පුළුන් කෑල්ලක් ගෙන මේ මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ තවරා විනාඩි 20 ක් තබා ඇල් වතුරෙන් සෝදා හරින්න.

මේ සත්කාර කරන කාලය තුළ සම හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න.

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

මනෝරි ජයවීර