ලස්සන රුවකට නිවෙසේ දී ම පිළියම්..

පෙබරවාරි 12, 2020

ලස්සන රුවකට හිමිකම් කියන්න අකැමැති කෙනෙක් නැති තරම්. ඇතැම් විට අපේ පෙනුම අවලස්සන වෙන්නේ අප එතරම් නොහිතන කුඩා දේවල් නොසලකා හැරීම නිසයි. හිසේ සිට පාදාන්තය දක්වාම ඇති අංගයන් ලස්සනට පවත්වා ගැනීමෙන් ලස්සන රුවකට හිමිකම් කිව හැකියි.

අද බොහෝ යුවතියන්ගේ රුව ලස්සන නැති කරන දෙයක් හැටියට සිරුරේ ඇතැම් ස්ථානවල කළුපැහැ වීම දැක්විය හැකියි. සිරුරේ සම පැහැපත් වුවත් ඇතැම් ස්ථානවල ඇති කළු පැහැය නිසා එය රුවට අප හිතනවාට වඩා හානියක් සිදු කරයි.

මුහුණ දෙස එක්වරම බැලූ විට පෙනෙන දෙයක් ලෙස දෙතොල් හඳුන්වන්න පුළුවන්. පැහැපත් මුහුණක් තිබුණත් කළු පැහැ දෙතොලක් ඇති විට මුහුණට ගෙන දෙන්නේ අඳුරු බවක්. සිරුර පැහැපත් වුවත් ඇතැම් කාන්තාවන්ගේ දෙතොල් පමණක් නොව, ගෙල, කිහිලි, ඉකිළි ආදී ප්‍රදේශ දැඩි අඳුරු පැහැයක් ගන්නවා. එය ඇතැම් විට ඔවුනට මානසික පීඩාවක් වීම දක්වා දුරදිග යන අවස්ථා තිබේ.

එමනිසා ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් සිරුරේ මෙවැනි ස්ථානවල ඇති අඳුරු පැහැයන් දුරුකර ගන්නේ කෙසේදැයි අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

දෙතොල් කළු වීම

දෙතොල් කළු වීම හේතු කිහිපයක් නිසා ඇති විය හැකියි. තමාට නොගැළපෙන තොල් ආලේපන භාවිතය. මෙහිදී නොගැළපෙන ලෙස හඳුන්වන්නේ ආලේප කළ පසු ඉවත් කිරීමට අපහසු හා තත්ත්වයෙන් බාල ආලේපනයි. එමෙන්ම ජලය වැඩියෙන් පානය නොකළ විට ද විජලනය නිසා තොල් කළු විය හැකියි.

මේ සඳහා නිවෙසේදී ම ඔබට පිළියම් කළ හැකියි. දෙහි හා මී පැණි මේ සඳහා හොඳ විසඳුමකි. මී පැණි තේහැන්දක පමණ ප්‍රමාණයකට දෙහි බිංදු දෙක තුනක් දමා මිශ්‍රකර දෙතොලෙහි ආලේප කරන්න. මෙය දිනපතා සති දෙක තුනක පමණ කාලයක් කිරීමේ දී යහපත් ප්‍රතිඵල ලබා ගත හැකියි.

ගෙල කළු වීම

යම් ආභරණයක් ඔබ නිතර ගෙලෙහි පලඳිනවා නම් එය මාසයක පමණ කාලයක් ගළවා තබන්න. මන්ද ආභරණවලට හිරු කිරණෙහි ඇති අල්ට්‍රාවයලට් කිරණ එකතු වූ විට ඉන් සම සියුම්ව පිලිස්සෙන බැවිනි.

අලිගැටපේර ගෙඩියක පොත්තට සමීපව ඇති තරමක් තද කොළ පැහැති කොටස සූරා එයට යෝගට් ස්වල්පයක් දමා ක්‍රීම් එකක් ආකාරයට හොඳින් මිශ්‍ර කරගන්න. පසුව මෙම ආලේපය බෙල්ල වටා ආලේපකොට විනාඩි 45 ක පමණ කාලයක් තිබෙන්නට හරින්න. පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න. මෙම ප්‍රතිකර්මයෙන් ප්‍රතිඵල ලැබීමට නම් මෙය දින දෙක තුනක් නොව, දිනපතාම සති තුනක පමණ කාලයක් සිදු කළ යුතුය.

කිහිලි ප්‍රදේශය කළු වීම

මෙහිදී පළමුවෙන් ම කළ යුතු වන්නේ කිහිලි ප්‍රදේශයේ ඇති අනවශ්‍ය රෝම ඉවත් කිරීමයි. අනවශ්‍ය රෝමවලට දහදිය එකතු වූ විට කිහිලි ප්‍රදේශය කළු වීම සිදු වේ.

බොඩි ස්ක්‍රබ් ස්වල්පයක් ගෙන එය කිහිලි ප්‍රදේශයේ ආලේපකොට ස්ක්‍රබ් කරගන්න. ඉන්පසු හොඳ වෙළෙඳනාමයක් යටතේ ඇති ඩියොඩ්‍රන්ට් එකක් භාවිත කරන්න. සමහර ඩියොඩ්‍රන්ට් ආලේප කළ විට කළු වේ. තවත් සමහර ඩියොඩ්‍රන්ට් ආලේප කිරීමෙන් එම ප්‍රදේශයේ පමණක් නොව, ඇඳුම්වල කිහිලි ප්‍රදේශය පවා සුදු වී යයි. මේ නිසා හොඳ පිළිගත් ඩියොඩ්‍රන්ට් වර්ගයක් තෝරා ගන්න.

කිහිලිවල අනවශ්‍ය රෝම ඉවත්කර සතියකට සැරයක් බොඩි ස්ක්‍රබ් එකකින් එම ප්‍රදේශය ස්ක්‍රබ් කිරීමෙන් කාලයක් යන විට කළු පැහැය දුරු වී යන බව ඔබට පෙනේවි.

ඇස් යට කළු වීම

ඇස් යට කළු වීමට හේතු කිහිපයක් ම බලපානු ලබයි. සෛල අප්‍රාණික වීම. එක දිගට රූපවාහිනිය නැරඹීම, වැඩි වේලාවක් පරගණකයේ හා ස්මාර්ට් ෆෝන්වල කටයුතු කිරීම, නිදි වැරීම ආදිය මේ සඳහා ඍජුවම බලපාන කාරණා වේ.

උදෑසන අත් හොඳින් පිරිසුදු කරගත් පසු වෙදැඟිල්ලෙන් සෙමෙන් ඇස් වටා තට්ටු කරන්න. විනාඩි පහක පමණ කාලයක් මෙය සිදු කිරීම ප්‍රමාණවත් වේ. ඊට අමතරව රාත්‍රී කාලයේ දී අන්ඩර් අයි ජෙල් එකක් භාවිතකර එයාකාරයෙන් ම තට්ටු කරන්න.

එමෙන්ම ඇස්වල විඩාබර ගතියක් පවතී නම් භාවිතකර අවසන් වූ ටීබෑග් ඉවත නොදමා ශීතකරණයේ දමා තමාට අවශ්‍ය වේලාවට ටීබෑග් දෙකක් ඇස් මත තබා ගන්න. ඇස්වලට සිසිලසක් දැනේවි. පිපිඤ්ඤා පෙති දෙකක් හෝ අර්තාපල් අල පෙති දෙකක් ඇස් මත තබාගෙන විනාඩි කිහිපයක් සිටීම ද ඇස්වල විඩාබර ගතිය මඟහරවන්නකි. ඇස්වල වෙහෙස නිසා ඇතිවන ඇස් යට කළු වීම් මෙවැනි ප්‍රතිකර්ම මඟින් වළක්වා ගත හැකියි.

ඔලිව් තෙල් ආලේප කිරීමෙන් ඇහි පිහාටු වර්ධනය කරගැනීමට මෙන්ම ඇස් අවට සම නිරෝගී කරගැනීමට ඔබට හැකියාව ඇත. තෙල් ස්වල්පයක් ආලේපකොට වෙදැඟිල්ලෙන් සෙමෙන් එම ප්‍රදේශය සම්බාහනය කරන්න. මෙයින් ඇස්වල දීප්තිමත් බව ද වර්ධනය වේවි.

වැළමිටි දණහිස් කළු වීම

ඇතැම් අයගේ වැළමිට ප්‍රදේශය හා දණහිස් කළු පැහැ වේ. එයට ප්‍රධාන ම හේතුවක් වන්නේ ව්‍යායාම කිරීමේ දී එම ප්‍රදේශ රළු මතුපිටක් හා නිතර ගැටීමයි. මෙහිදී සිදු වන්නේ මැරුණු සෛල එම ප්‍රදේශයෙන් ඉවත් නොවී රැඳීම නිසා කළු පැහැයෙන් දිස් වී රළු බවක් ගැනීමයි. මෙම තත්ත්වය දුරුකර ගැනීම සඳහා බොඩි ස්ක්‍රබ් එකක් එම ප්‍රදේශවලට භාවිත කළ යුතුයි. දින තුනකට වරක් මෙම ප්‍රදේශ මෙසේ හොඳින් ස්ක්‍රබ් කිරීම මඟින් රළු සම ඉවත් වී කළු පැහැය ද ඉවත් වේ.

ස්ක්‍රබ් කිරීමෙන් අනතුරුව කෝමාරිකා මදය ආලේප කිරීම ද කළු පැහැය ඉක්මනින් දුරුකර ගැනීමට ඉවහල් වේ. ඉහත බොඩි ස්ක්‍රබ් එක නිවෙසේ දීම වුවත් ඔබට සකසා ගත හැකියි. ඒ සඳහා කෝමාරිකා ජෙල් ස්වල්පයකට සීනි කැට ස්වල්පයක් දමා හොඳින් අතුල්ලන්න. මෙය ස්වාභාවික ස්ක්‍රබ් එකකි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

ප්‍රේමසිරි හේවාවසම්