සියක් රෝග නසන දෙළුම්

මාර්තු 4, 2020

‘පාරාදීසයේ පලතුර’, ‘සොබා දමේ ඖෂධාගාරය’ මේ පටබැඳි නාමයන්ම දෙළුම් ගෙඩියේ ඖෂධීය ගුණ හැඳින්වීමට ප්‍රමාණවත්ය. දෙළුම් යනු ලෙල්ලවත් ප්‍රයෝජනයට නොගෙන ඉවත දැමිය හැකි පලතුරක් නොවෙයි. බොහෝ සංස්කෘතිවල, රත් පැහැ ප්‍රණීත යුෂ පිරුණු දෙළුම් පල සෞභාග්‍යයේ සරුබවේ ලකුණකි.

මෙහි ඇට 613 ක් පමණ තිබෙන බවට අනුමාන කරයි. මේ පුංචි ඇටයක මොනතරම් ගුණයක් සැඟවී පවතිනවාද? දෙළුම් ඇට කෝප්ප භාගයක කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 27 ක්, සීනි ග්‍රෑම් 89 ක්, තන්තු ග්‍රෑම් 5 ක් (දෛනික තන්තු අවශ්‍යතාවෙන් සියයට 14ක් ), පොටෑසියමි මිලිග්‍රෑම් 205 ක් (දෛනික අවශ්‍යතාවෙන් සියයට 5 ක්), විටමින් ‘ සී ’ මිලිග්‍රෑම් 9 ක් (කාන්තාවන්ගේ දෛනික විටමින් සී අවශ්‍යතාවෙන් සියයට 12 ක්), විටමින් කේ මයිකො‍්‍රග්‍රෑම් 3 ක් (දෛනික අවශ්‍යතාවෙන් සියයට 18ක්), ෆෝලේට් මයික්‍රොග්‍රෑම් 33 ක් (දෛනික අවශ්‍යතාවෙන් සියයට 8 ක්) සහ ප්‍රෝටීන අඩංගුය. දෙළුම් සිරුරට දිය වෙන තන්තු සහ දිය නොවෙන තන්තු ලබාගත හැකි හොඳම මාර්ගයකි.

පර්යේෂණවලින් හෙළිවී ඇති අන්දමට දෙළුම් පලයට රත් පැහැයක් ගෙනෙන පොලිෆෙනෝල් සංයෝග ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වෙයි. වෙනත් බොහෝ පලතුරුවලට වඩා ගී‍්‍රන් ටීවලට වඩා මෙහි ඔක්සිකාරක අඩංගුය. ප්‍රතිඔක්සිකාරක අපේ සිරුර පිටින් එන විස ද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා කරයි. පිටින් එන විස ද්‍රව්‍යයන්ගෙන් අපේ සෛලවලට හානි වෙයි. ප්‍රදාහයන් ඇතිවෙයි. පිළිකා අවදානම වැඩි වෙයි.

එක් දෙළුම් ගෙඩියක සියයට 40 ක් පමණ විටමින් සී අඩංගුය. විටමින් සී ද ප්‍රතිඔක්සිකාරකයකි. පුරස්ථ ග්‍රන්ථියේ පිළිකා සෑදීමේ අවදානම අඩු කිරීමේ විශේෂ ගුණයක් දෙළුම් සතුව පවතියි.

මතක ශක්තිය සුරකින. ඇල්ෂයිමර් රෝගය වැඩි දියුණු වීම වළක්වන ගුණයක් දෙළුම් ගෙඩියේ පවතියි. ආමාශයේ ප්‍රදාහයන් වළක්වන, ජීර්ණය දියුණු කරන ගුණයක් ඇත. මෙහි අඩංගු ෆ්ලේවනොයිඩ මඟින් කාටිලේජවලට වන හානිය හා ඔස්ටියෝආතරයිටිස් වළක්වයි. අනෙක් ආතරයිටිස් තත්ත්වයන්ට දෙළුම්වල ඇති බලපෑම ගැන පර්යේෂණ සිදුකෙරෙමින් පවතියි.

හදවතට ආදරය කරන්නන් නිතර නිතර දෙළුම් ආහාරයට ගත යුතුය. මෙය හදවත සුරකින පලතුරක් ලෙස ප්‍රකටය. දිනපතා දෙළුම් යුෂ පානය කරනවා නම් රුධිර පීඩනය වැඩි නොවී පවත්වා ගැනීමට පුළුවන. කොරෝනා වෛරසය නිසා මේ දිනවල වෛරස් රෝගවලින් ආරක්ෂා වීම ගැන වැඩි අවධානයක් යොමු වී පවතියි. රසායනාගාර පර්යේෂණවලින් බැක්ටීරියා, වෛරසවලට එරෙහිව සටන් කිරීමේ ගුණයක් මෙහි පවතින බව සොයාගෙන තිබේ. පිරිමින්ගේත් කාන්තාවන්ගේත් යුග දිවිය ආදරයෙන් දරුමල්ලන් ගෙන් සරු කිරීමට දෙළුම්වල ප්‍රතිඔක්සිකාරක සහාය වෙයි. ක්‍රීඩකයන්ට මෙතරම් හොඳ ශක්තිජනක පානයක් නැත. අතීතයේ සිට හදවත මෙන්ම මාංසේශීන් ශක්තිමත් කිරීමට දෙළුම් පානය කරනු ලබයි.

2020/03/04 තරුණි බලන්න