රූ වරුණ

මැයි 13, 2020

ඇස් යට කළු වෙලා නම්  තේ කුඩු වලින් සාර්ථක පිළියමක්

ප්‍රශ්නය

මම අවුරුදු 24ක තරුණියක්මි. මාගෙ ඇස් යට කළු පැහැයක් ගෙන ඇත. ඒ නිසා මුහුණෙන් වැඩි වයසක් වගෙම මැලවුණු පෙනුමක් ගෙන දෙයි. මෙයට ප්‍රතිකාරයක් තිබේ ද?

රත්නපුරය - සුලෝචනා

පිළිතුර අපේ ඇස් වටා පවතින්නේ සංවේදී සමක්. ඒ නිසාම ඇස සමඟ ගනුදෙනු කිරීමේදී ද ප්‍රතිකාර කිරීමේදී ද වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි. ඇස් වටා කළුවීම වයස් භේදයකින් තොරව ඕනෑම කෙනකු මුහුණ දෙන ගැටලුවක්. ඒ වගේම කාන්තා පාර්ශවයට පමණක් පොදු දෙයක් නොවන අතර එය පිරිමි පාර්ශවය අතර ද දැකිය හැකි සුලබ තත්ත්වයක්.

ඇස් යට කළු වීමට හේතු කිහිපයක්ම බලපායි. ඒ අතර මානසික ආතතිය, නිදි වැරීම, ශරීරය විඩාවට පත්වීම, ස්නායු ආශ්‍රිත රෝග හෝ ඇස් ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර නොගෙන සිටීම, වැඩි වෙලාවක් පරිගණකය ඉදිරියේ ස්ටීම සහ මුහුණේ ගල්වන විවිධ ආලේපන වැනි හේතුන් ද බලපානු ලබයි.

ඇස්වල ඉදිමීම හා ඇස් වටා කළුවීම නැතිකිරීමට තේවල ඇති කැෆේන් හා ඇන්ටි ඔක්සිඩන්ට් උදවු වෙනවා, භාවිතකර, ඉවත් කළ තේ බෑග් ගෙන ශීතකරණයේ තබන්න. ඉන්පසු ඇස් මත මිනිත්තු 15 - 20ක් පමණ තබන්න. මේ සඳහා භාවිත කළ තේ කුඩු, පොට්ටනි ලෙස සකස්කර ශීතකරණයේ තබා පාවිච්චි කරන්නත් පුළුවන්. මෙය දිනපතා මාස තුනක කාලයක් කරන්න.

ඒ වගේම ශීතකළ නැවුම් කිරිවල පොඟවා ගත් පුළුන් කැබලි දෙකක් ඇස් මත තබා සිටීමෙන් ද සාර්ථක ප්‍රතිථල ලබාගත හැකියි.

පිපිඤ්ඤා පෙති දෙකක් ඇස්මත තබා සිටීමෙන් හෝ මී කිරි සහ මී පැණි ඇස් වටා ආලේප කිරීමෙන්ද අඳුරු පැහැය ඉවත්කර ගත හැකියි. ඒ වගේම ඇස් අවට සම්බාහනය කිරීම ද ප්‍රතිඵලදායකයි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

මානෙල් කොටුවේගොඩ

 

 

2020/05/13 තරුණි පුවත්පත බලන්න