රුව ගැටලු

ජනවාරි 20, 2021

ලස්සන වෙන්න කවුරුත් කැමැතියි. එයට වයස් භේදයක් අදාළ වන්නේම නැහැ. ඒ නිසාමයි තරුණ තරුණියන්ට වගේම මැදි වයස පසුකරමින් සිටින අයත් රූපලාවණ්‍ය ගැන මෙතරම් උනන්දු වන්නේ.

කොවිඩ් වසංගතය නිසා රුපලාවණ්‍ය ආයතනවලින් රුව අලංකරන කටයුතු කිරීමත් පමා වෙලා. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී ඔබේ රුව ලස්සන කරගන්න නිවෙසේදිම සත්කාර කර ගැනීම පහසුවක් වේවි. ඔබට රුව පිළිබඳ ගැටලු ඇත්නම් අපට ලියන්න. අපේ ලිපිනය,

අපේ ලිපිනය

රුව ගැටලු

තරුණී, ලේක්හවුස්

කොළඹ - 10

ගෝල්ඩ් ෆේෂල් එකක් නිවෙසේදී කළ හැකි ද?

 

 

ප්‍රශ්නය:

මම 31 හැවිරිදි තරුණියක්. එළැඹෙන මාර්තු මාසේ විවාහ වීමට බලාපොරොත්තවෙන් සිටිමි. ගෝල්ඩ් ෆේෂල් එකක් කිරීමෙන් මුහුණ පැහැපත් කර ගත හැකි බව බොහෝ දෙනා පැවසුවා. නමුත් කෘත්‍රිම ආලේපන මගින් ගෝල්ඩ් ෆේෂල් කරන්න මා තරමක් බිය වන්නේ මාගේ මුහුණේ සම වඩාත් සංවේදී නිසයි. ස්වභාවික අමුද්‍රව්‍ය මඟින් ගෝල්ඩ් ෆේෂල් එකක් කළ හැකි ද?

දෙහිවල - කල්පනී

 

පිළිතුර:

සම පැහැපත් කරන ෆේෂල් අතරින් ගෝල්ඩ් ෆේෂල් එකට විශේෂ තැනක් හිමි වෙනවා. සැලෝන් ගිහින් ෆේෂල් කරන්න පුරුදු වෙලා ඉන්න ඔබට මේ ෆේෂල් එක නිවෙසේදීම කර ගන්න පුළුවන්. පහසුවෙන් සොයාගන්න හැකි ස්වාභාවික ද්‍රව්‍යවලින් ගෝල්ඩ් ෆේෂල් එකක් කර ඔබේ සැබෑ පැහැපත් බව ඉස්මතු කරගන්න පුළුවන්.

ඒ සඳහා කැරට් අලයක්, වට්ටක්කා කුඩා කැබැල්ලක්, වෙනිවැල්ගැට කුඩු, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 6 ක්, කස්තුරි කහ ස්වල්පයක්, කඩල පිටි ස්වල්පයක්, දොඩම් ගෙඩියක්, තක්කාලි පළුවක්, මී පැණි ස්වල්පයක් සහ සීනි ස්වල්පයක් අවශ්‍යයි.

කැරට් සහ වට්ටක්කා කපා ෆ්‍රෙෂ් මිල්ක් තේ හැඳි හයක් පමණ එක් කර විනාඩි විස්සක් පමණ තම්බා ගන්න. තැම්බෙන විට එයට කස්තුරි කහ එකතු කරන්න. නිවුණු පසු බ්ලෙන්ඩ් කර ගන්න. එයට වෙනිවැල්ගැට සහ කඩල පිටි මිශ්‍රකර පැක් එකක් සාදා ගන්න. අවශ්‍ය නම් පැණි ද එකතු කරන්න.

මුහුණ ක්ලෙන්සර් කර ගන්නට දොඩම් යුෂ භාවිත කරන්න. ඉන්පසු මුහුණ ස්ටීම් කර ඡ්ඵබපචජබධප එකකින් වයිට් හෙඩ්ස් සහ බ්ලැක් හෙඩ්ස් ඉවත්කර ගන්න. තක්කාලි පළුවකට සීනි දමා මුහුණ ස්ක්‍රබ් කර ගන්න. ෆ්‍රෙෂ් මිල්ක් සහ කස්තුරි කහ එකට මිශ්‍රකර දියර ගතියට ලබාගෙන එය මුහුණේ ආලේපකර සම්බාහනය කරන්න. ෆ්‍රෙෂ් මිල්ක් සහ කස්තුරි කහ එකට මිශ්‍රකර දියර ගතියට ලබාගෙන එය මුහුණේ ආලේපකර සම්බාහනය කරන්න. එය විනාඩි 20 ක් පමණ මුහුණේ තිබෙන්නට හරින්න. දැන් සාදා ගත් පැක් එක මුහුණේ ආලේප කර මිනිත්තු හතළිස්පහක් තබන්න. ඉන්පසු මුහුණ සෝදා ගෙන කහ දොඩම් යුෂ ටොනර් එකක් ලෙස යොදා ගන්න. ඔබේ සමේ දීප්තිමත් බව සහ පැහැපත් බව වර්ධනය වෙන්න මේ ෆේෂල් එක ඔබට උදව්වක් වේවි.

 

නිරෝගී කෙස් කලඹකට සුදුසු තෙල් වර්ග මොනවා ද?

 

ප්‍රශ්නය:

28 හැවිරිදි මා හට තිබුණේ පිරිපුන් කෙස් කලඹක්. නමුත් මෑතක සිට කෙස් ගස් හැලී යයි. දුඹුරු පැහැයක් ද ගෙන ඇත. හිසකෙස්වලට ගුණදායි තෙල් වර්ග බොහොමයක් තිබුණත් ඒ ගැන මට වැඩ අවබෝධයක් නොමැත. මාගේ කෙස් කලඹට වඩාත් සුදුසු කුමන තෙල් වර්ගය ද?

කැගල්ල - අයෝමා

 

පිළිතුර:

කෙස් කලඹකට වඩා සුදුසු වන්නේ ස්වාභාවක තෙල් වර්ගයි. පොල් තෙල් අපට නුපුරුදු තෙල් වර්ගයක් නොවෙයි. හිස් කබලට සහ කෙස් කලඹට පොල් තෙල්වලින් වාසි රැසක් අත් වෙනවා.

කොණ්ඩයේ පෝෂණයට අවශ්‍ය විටමින් සහ ඛනිජ වර්ග පොල්තෙල්වල අඩංගුයි. මෙමඟින් කොණ්ඩය නිරෝගි කර කෙස් වැටීම පාලනය කරයි. පොල්තෙල් හිස ගල්වන විට මඳක් රත් කර නිවෙන්නට හැර ආලේප කිරීම ඉතා සුදුසුයි. රත් කිරීමේදී කරපිංචා කොල යෙදීම ද වැඩි ප්‍රතිඵල ලබා දෙයි.

වර්ණ ගන්වා ඇති, රීබොන්ඩිං කළ ඔබේ කොණ්ඩයේ සිදු වී ඇති හානිවලට ආගන් ඔයිල් අපුරු ප්‍රතිකාරයකි. ඔබට ආගන් ඔයිල් දිනපතා වුවත් කොණ්ඩයට යොදන්න පුළුවන්. කොණ්ඩයේ මොයිස්චරයිසින් ගතිය ආරක්ෂා කරගන්නට ආගන් ඔයිල්වලින් හොඳ පිටිවහලක් ලැබෙනවා.

ජොජොබා ඔයිල් හිස් කබලට වඩා කෙස් කලඹට ගැළපෙන තෙල් වර්ගයක්. කොණ්ඩය පළුදු නොවී තබා ගැනීමට ජොජොබා ඔයිල්වල ඉතා හොඳ මොයිස්චරයිස් ගුණයක් තිබෙනවා. ඒ වගේම හිස කෙස් වර්ධනයටත් දායක වෙනවා. ජොජොබා ඔයිල් හිසකෙස් වැටීම පාලනය කරන අතර හිසරදයටත් ඉතා ගුණදායක ඔසුවක්. සතියකට වරක් පමණ හිසේ ආලේපකර පැයකින් පමණ සෝදා හරින්න.

ආමන්ඩ් තෙල් සම සහ හිසකෙස් සඳහා විශිෂ්ට තෙල් වර්ගයක්. ස්වාභාවික විටමින් ඡ් එහි ඉහළින්ම අන්තර්ගතයි. මැග්නීසියම් සමඟ මේද අම්ල, ප්‍රෝටින් සහ ප්‍රතිඔක්සිකාරකවලින් ද පොහොසත්. එය හිසකෙස් කැඩී යාම පාලනය කරයි. ඔලිව් තෙල්වලට ඔබේ හිසකෙස්වල කෙරටින් ආරක්ෂා කිරීමේ හැකියාවත් පවතිනවා. එය ස්වභාවික විටමින් ඡ් වලින් පොහොසත්. හිසකෙස් මුල පෝෂණය කිරීම සහ කොණ්ඩයේ ඝන බව වැඩි කිරීමට ඔලිව් ඔයිල් ක්‍රියා කරනවා. එහි ඇති ඔලෙයික් අම්ලය නිසා කොණ්ඩයේ මොයිස්චරයිසින් ගතිය ආරක්ෂා වෙනවා. ලැබැන්ඩර් ඔයිල් හිසකෙස් වර්දනයට උපකාරි වෙනවා. හිස්කබලේ මොයිස්චරයිසින් ගතිය ද වර්ධනය කරනවා. ඒ වගේම ආතතිය දුරු කරන්නත් මෙය අපුරු තෙල් වර්යක්. මේ කුමන තෙල් වර්ගයක් වුවත් කෙස් කලඹට ඉතාම සුදුසුයි.

 

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර