සොඳුරු කෙස් කලඹක් හිමිකරගන්න කළ හැකි සත්කාර

ජනවාරි 27, 2021

ළඳකගේ රුසිරු බව කියන කෙස් කලඹ ඇයටම අනන්‍ය වූවකි. එහෙත් විවිධ හේතු නිසා මේ ලස්සන කෙස් කලඹ විවිධ හානිවලට ලක් වී ඇගේ රුසිරු නැති කළ හැකියි. ඒ නිසාම කෙස් කලඹ රැක ගැනීම කාන්තාවකට අතිෂයින් වැදගත් වූවකි.

ශරීරයේ හෝමෝන වෙනස් වීම, නුසුදුසු හිස ගල්වන ආලේපන භාවිතය, ප්‍රමිතියෙන් තොර උපකරණ භාවිතය, සෞඛ්‍ය ගැටලු උදාහරණ ලෙස තයිරොයිඩ් ග්‍රන්ථිය, අක්මාවේ, ඩිම්බකෝෂවල සුළු සුළු බලපෑම්, පෝෂ්‍යදායී ආහාර නොගැනීම, හොඳ නින්දක් නොලැබීම වැනි හේතු නිසා කෙස් ගස්වල ගැටලු, ඇතිවෙනවා. මේ හේතුවලින් සමහරක් පිරිමි අයගේ කොණ්ඩය ගැලවී යාමට ද හේතු වෙනවා. ඒ වගේම මේ සඳහා නිශ්චිත වයස් සීමාවක් නෑ. විවධ වයස් කාණ්ඩවල දී මේ ගැටලු මතුවී කෙස් කලඹට හානි සිදුවෙන්න පුළුළුන්.

එලෙස කොණ්ඩයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග හා සත්කාර කිහිපයක් අද විමසා බලමු.

ඖෂධ

හිසකෙස් සම්බන්ධ විශේෂඥයන් විසින් කරනු ලබන පරීක්ෂණවල ප්‍රතිඵල ලෙස, හිසකෙස්වල ගැටලු සඳහා විවිධ ඖෂධ වර්ග නිපදවා තිබෙනවා. මේවා ඉහළ පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විතයි. මෙම ඖෂධ හිසකෙස් වර්ධනයට සහ ඒවායේ ව්‍යූහය වැඩිදියුණු කිරීමට දායක වෙනවා. එහෙත් මේවා ලබාගත යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි. එමෙන්ම හිස්හොරි වැනි ගැටලුවලට ද වෛද්‍ය නිර්දේශය අනුව විවිධ ෂැම්පු වර්ග මිල දී ගෙන භාවිත කළ හැකියි.

ෆාමසිවල සහ විශේෂිත වෙළෙඳසල්වල මෙවැනි ඖෂධ වර්ග විශාල ලෙස ප්‍රමිතියකින් යුතුව විකුණනු ලබනවා. මාස තුනක පමණ කාලයක් ගැනීමෙන් ප්‍රතිඵල ළඟා කරගත හැකි වෙනවා. ඒ කෙසේ වෙතත් මෙවැනි ඖෂධ වර්ග හිතුමනාපෙට ගැනීම එතරම් සුදුසු නැහැ. මේවා වෛද්‍ය උපදෙස් ඇතිව භාවිත කරන්න.

සම්බාහනය

හිස සම්බාහනය කිරීමෙන් කෙස්වල ඇති රුධිර ප්‍රවාහනය සක්‍රිය වන නිසා කෙස් ගස් වේගවත්ව වර්ධනය වේ. ඔබගේ රූපලාවණ්‍ය ශිල්පිනිය මුණගැසී මේ සඳහා සුදුසු තෙල් වර්ග භාවිතකර හිස සම්බාහනය කරගන්න. විනාඩි 30ක පමණ කාලයක් ගෙන මෙය සිදු කරන්න. සතියකට තුන් වරක් හෝ 4 වරක් නිවෙසේ දී ඔබටම මෙය කරගත හැකියි. අපි ඒ පිළිබඳ පසුගිය ලිපිවලින් පැහැදිලි කිරීම් කළෙමු. ඔබගේ ගැටලුව ඉදිරිපත් කිරීමෙන් පසු නිල තෙරපුම් මඟින් හා තෙල් සම්බාහනය කරන ආයුර්වේද ස්ථානවලින් ද මෙය සිදුකර ගත හැකියි. ඒ සඳහා එවැනි සම්බාහන හා නිල තෙරපුම් කරන පිළිගත් ස්ථානයක් වෙතම යන්න.

සෞඛ්‍ය සම්පන්න නින්දක්

නිසි නින්දක් නොලැබීම කෙස් කලඹට අහිතකර ලෙස බලපාන බව ඔබ නොසිත්න්නට ඇත. එහෙත් සුවදායී නින්ද යනු කෙස් කලඹේ නිසි වර්ධනයට මෙන්ම නිරෝගී පැවැත්මට ද එකසේ බලපායි. නින්ද රුධිර සංසරණයට බලපායි. පරිවෘත්තීය වේගවත් කරයි. කෙස්වලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සැපයීමට දායක වෙයි. එම නිසා නිසි පෝෂණය මෙන්ම සෞඛ්‍ය සම්පන්න ලෙස පැය 7ක නින්දක් අත්‍යවශ්‍ය බව ද ඔබ සිතට ගන්න.

ආහාර

ඉතා හොඳ සමබල ආහාර වේලක් හැකි සෑම විටම ලබාගන්න. කොළ පැහැති එළවළු, පලා වර්ග හා පලතුරු නිරන්තරයෙන් ආහාරයට එකතු කර ගන්න. ස්වාභාවික ආහාර රටාවකට අනුගත වෙන්න. කෘත්‍රිම ආහාර රටාවත් නැවුම් ආහාරපාන භාවිත නොකිරීමත් පෝෂණයට අහිතකර ලෙස බලපායි.

ෂැම්පු - කන්ඩිෂනර් වර්ග

ප්‍රමිතියකින් යුතු ෂැම්පු වර්ග ආරක්ෂාකාරීව භාවිත කරන්න. ෂැම්පු කිරීම දවස් පතා නො කළත් සතියකට දවස් හතරක් වත් කරන්න. හිසකෙස් පිරිසුදු කිරීමට ෂැම්පූ භාවිත කළ යුතුයි. ෂැම්පු කරන හැමවිටම කොණ්ඩය සෝදා තරමක් වියළා ගැනීමෙන් පසු කන්ඩිෂනර් යෙදිය යුතුමයි. එමඟින් කෙස් ගසේ ආරක්ෂාව තකහවුරු වේ. එමෙන්ම හෙයා මාස්ක් භාවිතයෙන් කොණ්ඩයට අවශ්‍ය නිසි පෝෂණය ලබා ගන්න පුළුවන්.

යම්කිසි ලොෂන් වර්ගයක් භාවිත කිරීමෙන් ඔබ කොණ්ඩය වෙනස් කරගෙන ඇත්නම්, (උදාහරණ ලෙස රීබොන්ඩිං, ස්ට්‍රෙටිං, කර්ලිං, ෆර්මිං ආදී ලෙස) ඒ සඳහා සුදුසු කන්ඩිෂනර් සත්කාර කර ගැනීම අත්‍යවශ්‍යයි. ඔබේ කොණ්ඩය වෙනස් කරගනු ලැබූ රූපලාවණ්‍යාගාරය තුළින්ම මෙම සත්කාරය කරනු ලබනවා. එයට ඔබට දින ද ලබාදෙනු ලබනවා. නියමිත දිනට එය සිදු කිරීමෙන් ඔබගේ කෙස් ගහේ පෝෂණය ද රැකෙන අතර කෙස් ගසට වන හානිය ද වළක්වා ගන්න පුළුවන් වෙනවා.

හෙනා සත්කාරය

කොණ්ඩයට විවිධ වර්ණ තාවකාලිකව යොදන අය ආරක්ෂාකාරී ක්‍රමයක් හැටියට හෙනා සත්කාරය කරනු ලබනවා. මින් කෙස් ගසට ඉතා හොඳ පෝෂණයක් සහ වර්ණයක් ලැබෙනවා. ඒ සඳහා භාවිත කරන්නේ පිරිසුදු මරතොන්ඩි කුඩු යි. ඊට අමතරව පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ කෙස්ගසේ ස්වභාවය අනුව එකතු කරන තෙල් වර්ග සහ තවත් දෑ බොහොමයක් තිබෙනවා. ඔබගේ රූපලාවණ්‍ය ශිල්පිනිය සමඟ කතා කර ගැනීමෙන් අනතුරුව තමන්ට සුදුසු වර්ග හෙනා සමඟ කලවම් කර ගත හැකියි. හෙනා යනු ඉතා සීතල ද්‍රවයක් නිසා මෙය තද හිරු රශ්මිය ඇති දිනක කළ යුතුයි. එමෙන්ම සෙම් රෝග ඇති අය මෙම සත්කාර කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. හෙනා සත්කාරය කර ගැනීමෙන් පසුව, මාස හයක් පමණ ගතවනතෙක් රසායනික සත්කාර හෝ එවැනි ද්‍රව්‍ය කොණ්ඩයට භාවිත නොකළ යුතුයි.

කෙරටින් සත්කාරය

හිසකෙස්වල ස්වාභාවිකව පවතින ප්‍රෝටීන් වර්ගයකි. මේවා අඩු වීම කොණ්ඩයේ පෙනුමට බලපායි. පිම්බෙන ස්වභාවයක් ඇති බොකුටු කැරැලි ගැසුණු කොණ්ඩයක් සිනිඳු දීප්තිමත් කොණ්ඩයක් බවට පත් කරවන ක්‍රියාවලියක් තමයි කෙරටින් සත්කාරය මඟින් කෙරෙන්නේ. හිසකෙස්වල අභ්‍යන්තරයට ම ගමන් කර ඒ තුළට කෙරටීන් ඇතුළුවීම නිසා නිරෝගී පෙනුමැති කෙස් කලඹක් ඔබට ලැබෙනවා. මෙය මාස කිහිපයක් යනකොට ඉබේම නැතිවී යනවා. මේ සඳහා වෙළෙඳපොළේ තිබෙන කෙරටීන් සත්කාරය සඳහා ම නිමා වූ විශේෂිත නිෂ්පාදන හොඳීන් කියවා බලා තෝරා ගන්න. ඔබගේ කොණ්ඩ සැකසුම් ශිල්පියාගේ උපදෙස් ද මේ සඳහා ලබාගන්න. මෙය තාවකාලික රිලැක්සිං ක්‍රමයක් වුවත් කෙරටීන් ප්‍රෝටීන ඔබගේ හිසට ලැබීම නිසා මාස 6ක් වැනි කාලයක් දීප්තිමත් කෙස් කලඹක් ඔබට ලබාගත හැකියි.

කෙස් සිටුවීම 

hair transplant
 

ලෝකයේ දැනට පවතින දියුණු ම තාක්ෂණික ක්‍රමයකි. මෙම ක්‍රමය දැන් ලංකාවේ ද සිදු කරනු ලබනවා. කොණ්ඩය සිටුවීම සඳහා වියදමක් ඔබට දැරීමට සිදුවෙනවා. සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය අයට මෙය කරගන්න පුළුවන්. එය ද හිසකෙස් වැටීම, තට්ටය පෑදීම, හිසේ යම් යම් තැන්වල හිස කෙස් අඩු වීම සඳහා සුදුසු ක්‍රමයකි