රුව ලස්සන කරන රෝස වතුර

ඔක්තෝබර් 13, 2021

 

කාන්තාවයි රුවයි කියන්නේ එකක්. ඒ නිසා ලස්සන වෙන්න කවුරුත් කැමැතියි. සල්ලි වැය නොකර ලස්සන වෙන ක්‍රම ඕනෙ තරම් තිබුණත් ඒ ගැන දැනුවත් පිරිස අල්පයි. රෝස වතුර කියන්නේ කාන්තා ඔබට ලස්සන වෙන්න මිලක් වැය නොකරම සාදාගන්න හැකි දෙයක්.

ඒත් අපි හැමදේම සල්ලිවලට ගන්න පුරුදු වෙලා ඉන්න නිසා නොමිලේ හදාගන්න පුළුවන් රෝස වතුරත් සල්ලිවලට ගන්නවා.

මෙය සැකසීම බොහොම සරලයි. මේ සඳහා අවශ්‍ය වෙන්නේ ගෙවත්තෙන් ගත්ත පිරිසුදු, කෘමි නාශක නොයෙදූ රෝස මල් කිහිපයක් විතරයි.

ලොකුම රෝස මල් නම් දෙකක් තුනක් ඇති. කුඩා ඒවා නම් 5ක් 6ක් ගන්න. රෝස වතුර හදාගන්න ඕන ප්‍රමාණය අනුව මේක වෙනස් වෙනවා.

මේ රෝස මල්වල පෙති වෙන් කරන්න. ඒවායේ දූවිලි, පුංචි කෘමි සත්තු ඉන්න පුළුවන්. ඒ නිසා වතුරට දාලා කලතලා සෝදගන්න. මිරිකන්න එපා. තැළෙන්න දෙන්න එපා. පිරිසුදු රස්නෙට ඔරොත්තු දෙන භාජනයක් අරන් මේ මල් පෙති ටික කෑලිවලට කඩලා දාගන්න. ඒ මල් පෙති ටික වැහෙන්න නටන උණු වතුර කෝප්ප දෙකක් විතර දාගන්න. (ගත්ත මල්වල ප්‍රමාණය අනුව වතුර ප්‍රමාණය වෙනස් වෙනවා)

මේ වතුර එක හොඳින් වසා පැයක් විතර තියන්න.

අවසන පීරිසිය ඉවත්කර බලන්න. මල් පෙතිවල පැහැය සුදු ගතියට හැරී වතුර එකට මල්වල පැහැය එක්වී තියෙනවා දකින්න පුළුවන්. දැන් පෙති ටික ඉවත් කරන්න. මේක පානය කරන්න පුළුවන්. උණුසුම මඳි නම් ඩබල් බොයිල් ක්‍රමයට නැවත උණුසුම් කරගන්න. මෙයට සීනි එකතු කරන්න එපා. නිකම්ම පානය කරන්න. කැමැති නම් මී පැණි බිංදුවක් එකතු කරන්න. පානය කරන්නේ නැත්නම් හොඳින් නිවුණු පසු ජීවානුහරණය කරපු ස්ප්‍රේ බෝතලයක් හරි වෙනත් වීදුරු බෝතලයක් හරි අරන් පෙති ටික අයින් කර වතුර ටික දාන්න. මේ බෝතලේ ශීතකරණයේ තබා මාසයක් විතර භාවිත කරන්න පුළුවන්. උදේට මූණ සෝදා මූණට ස්ප්‍රේ කරන්න. මේකප් කරන්න කලින් ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ බෝතලයක් නැත්තම් පුලුන් කෑල්ලකට අරන් මූණෙ ගාන්න. මේක දවසට දෙතුන් සැරයක් වුණත් මූණට ස්ප්‍රේ කළා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. සමේ තෙතමනය හොඳින් ආරක්ෂා වෙනවා.

අයින් කරන රෝස පෙති ටිකත් නික්ස්ම් විසිකරන්න එපා. එයට කඩල පිටි ටිකක් එක්කර අඹරා පැක් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.

 

රෝස වතුරේ ප්‍රයෝජන

 

ස්වාභාවික ටෝනර් එකක් විදියට භාවිත කරන්න පුළුවන්. ඒ නිසා අපිට ප්‍රබෝධවත්ව ඉන්න රෝස වතුර උපකාරී වෙනවා.සම දීප්තිමත් වෙනවා. සමේ සිදුරු කුඩා කරන නිසා කුණු දූවිලි සම තුළට ඇතුළුවිම වළක්වනවා.

තෙල් සහිත සමකට භාවිත කරන පැක් වර්ග සඳහා රෝස වතුර එකතු කරනවා. පැක් වර්ග මිශ්‍ර කරගන්නත් කුරුලෑ සහිත සමකට මුල්තානි මැටි සමඟ රෝස වතුර භාවිත කරනවා. මේකෙන් කුරුලෑ අවම කරගන්න පුළුවන්. ඒ වගේම මුහුණේ තෙල් ගතිය පාලනය කරගන්නටත් හැකියි.

රෝස වතුර උණුසුම්ව තේ වගේ බොන්නත් පුළුවන්. මඳ උණසුම්ව බීමෙන් ඇස් දීප්තිමත් වෙනවා. සමටත් දිදුලන පැහැපත් බවක් ලැබෙනවා.

දිනපතා ආලේප කිරීමෙන් ඇස් වටා අඳුරු පැහැ වී ඇත්නම් එය අවම කරගන්නට හැකියි. එමෙන්ම ඉර එළිය හා බ්ලීචිං නිෂ්පාදන භාවිත කිරීමෙන් පිලිස්සුණු සම යථා තත්ත්වයට පත්කර ගන්න පුළුවන්.

 

 

අන්තර්ජාලයෙනි