දැඩි හිරු එළියෙන් රුව රැකගන්න මේ උපදෙස් පිළිපදින්න

මාර්තු 11, 2020

මේ දිනවල පවතින අධික උණුසුම කොයි කාටත් දරාගන්න බැරි තරම්. අව් රශ්මියට නිරාවරණය වන සම පිලිස්සීමත් වළක්වන්න අමාරුයි. දහවල් කාලයේ අව්වේ පොඩ්ඩක් එහෙට මෙහෙට ගියත් සම ඉක්මනින් කළු වනවා.

නිතර අව්වට නිරාවරණය වන වත්තේ පිටියේ, හේනේ කුඹුරේ වැඩ කරන කාන්තාවන් පමණක් නොවෙයි පිරිමින් වගේම අව්වේ සෙල්ලම් කරන දරුවන් ද වෙනදාට වඩා දෙගුණයක් වතුර පානය කිරීම හරිම වැදගත්.

පාසලට ගෙන යන වතුර බෝතලය වෙනුවට දෙකක් ගෙනියන්න. හේනට, කුඹුරට යන විට වැඩිපුර වතුර බෝතලයක් දෙකක් වත් රැගෙන යන්න. අව්වේ වේළෙන්නේ නැතිව හිස තොප්පියකින් හෝ සළුවකින් වසාගන්න. අත් දිග හැට්ට, දිග කලිසම් වැනි හොඳින් සිරුර වැසෙන ඇඳුම් අඳින්න. නිවෙසින් බැහැර ගොස් පැමිණි වහාම ශීතකළ ජලයෙන් මුව අතපය සෝදාගන්න. ශීතකළ ජලයෙන් සේදීම තුළින් සමට ඉක්මන් තෙතමනයක් ලැබේ.

ඔබ රැකියාවකට යන යුවතියක් නම් දිනපතා විවිධ ආලේපන ගල්වනවාට සැකයක් නැහැ. ඒ නිසා මේක්-අප් එක දැමීමට ප්‍රථම කෝමාරිකා ජෙල් හෝ සන්ස් ක්‍රීම් ගල්වා විනාඩි කිහිපයක් හිඳ පසුව මේක්-අප් එක ගල්වන්න. නිවෙසට ආ සැණින් සියලුම ආලේපන ඉවත් කළ යුතුයි. ඒ සඳහා සුදුසු ආලේප ඉවත් කිරීමේ ද්‍රව්‍යයක් හෝ මෘදු සබන් වර්ගයක් යොදාගන්න.

ඔබේ සමෙහි ස්වාභාවික තෙතමනය සහ පැහැය රඳවා ගැනීමට නම් ඊට සුදුසු ෆේෂ්වොෂ් වර්ගයක් භාවිත කරන්න. ඒ වෙනුවට මිල්ක් ක්ලෙන්සර් එකක් භාවිත කළ හැකි නම් වඩාත් සුදුසුයි. වියළි උණුසුම් කාලවලදී පිරිසුදුකාරක ක්‍රීම් වරර්ග වෙනුවට ජෙල් වර්ග වඩා සුදුසුයි. ඔබේ සම තෙල් සහිත නම් වඩා සුදුසු වන්නේ පෙණ සහිත පිරිසුදුකාරක වර්ග.

නිවෙසින් පිටත ගොස් එන සෑමවිටම මෘදු පිරිසුදු කාරකයකින් මුහුණ හා සිරුර පිරිසුදු කළ යුතුයි. වියළි කාලවල දී ඔබේ මුව මත තවරන ආලේපන මත වැඩිපුර දුහුවිලි තවරාගෙන සිටීමෙන් සමෙහි රෝම කූප වැසී දහදිය පිටතට ඒම වළක්වයි. මෙය කුරුලෑ සහ ලප කැළැල් ඇති වීමට ද ඉක්මනින් සම වියපත් වීමට ද හේතු වේ. එබැවින් සෑම රාත්‍රියකම නින්දට පෙර ඔබ දවස පුරා තවරාගත් සියලුම ආලේපන හොඳින් ඉවත්වන ලෙස මුහුණ හා සිරුර සෝදා පවිත්‍ර කර ගත යුතුයි.

ඝනකම් ආලේපන වර්ග උෂ්ණ කාලයට සුදුසු නැත. ඒවා ඝන තට්ටු වශයෙන් තැවරීමෙන් මුහුණේ කුරුලෑ මතු විය හැකියි.

හිරු ආවරණ ආලේප ගැල්විය යුත්තේ ඔබේ මුව හෝ සිරුර මත වෙනත් ආලේප ගැල්වීමට පෙරය. ඔබ හිරුඑළියට නිරන්තරයෙන් නිරාවරණය වන්නේ නම් හිරු ආවරණ ආලේප පැය දෙක තුනකට වරක් ගැල්වීම වඩා සුදුසුය. දැඩි හිරු රැසින් මිදෙන්නට නම් නිවෙසින් බැහැරව කරන ව්‍යායාම හෝ වෙනත් අත්‍යවශ්‍ය කටයුතු පෙරවරු දහයට පෙර හෝ පස්වරු හතරෙන් පසුව කරන්නට උත්සාහ ගන්න. පාසල් යන දුවට පුතාට කුඩයක් හෝ තොප්පියක් දෙන්න. හිරුඑළියෙන් හානිවන්නේ සමට පමණක් නොව හිස කෙස්වලට ද බලපායි. හිසකෙස්වල අවපැහැය, හිසකෙස් වියළි වීම සහ කැඩී යාම වැනි ගැටලු මේ නිසා ඇතිවිය හැකියි.

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී චමීලියා රාමනායක

 

2020/03/11 තරුණි බලන්න