ගෙල පැහැපත් කරන සත්කාර

සැප්තැම්බර් 23, 2020

ලස්සන වෙන්න අපි කවුරුත් කැමැතියි. එයට වයස් භේදයක් අදාළ වන්නේම නැහැ. ඒ නිසාමයි තරුණ තරුණියන්ට වගේම මැදි වයස පසුකරමින් සිටින අයත් රූපලාවණ්‍ය ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ. නමුත් මේ දිනවල ගෙදරට වෙලාම සිටීමට සිදුව ඇති නිසා රූපලාවණ්‍ය කටයුතු සඳහා රූපලාවණ්‍යාගාර වෙත යන්නත් අවස්ථාව ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඔබේ රූපලාවණ්‍ය කටයුතු නිවෙසේදීම කළ හැකි නම් පහසුවක් වේවී.

එලෙස රුව ගැන වැඩි සැලකිල්ලක් දක්වන ඔබට මේ දිනවල රුව පිළිබඳ ගැටලු ඇත්නම් අපට ලියන්න.

 

අපේ ලිපිනය

රුව ගැටලු - තරුණී, ලේක්හවුස්

කොළඹ - 10

 

ප්‍රශ්නය

මම 28 හැවිරිදි තරුණියක්මි. මගේ සම පැහැපත් ය. එහෙත් ගෙල පෙදෙස අව පැහැ වී රැලි සහිත බවක් ගෙන ඇත. ගෙලේ සමෙහි රළු ස්වභාවයක් මෙන්ම අළුහම් ස්වභාවයක් ද තිබේ. මෙයට කුමක් හෝ ප්‍රතිකාරයක් තිබේ ද? ඇතැම් අවස්ථාවල දී බෙල්ලේ නහර ඉලිප්පෙන බවක් ද දක්නනට තිබේ. මෙය රෝගයක් ද?

කඩවත - සමාධි

 

පිළිතුර

මුහුණ වගේම ගෙලත් ලස්සනට තබා ගන්න නම් ගෙල පෙදෙසටත් සත්කාර කිරීමට අමතක නො කළ යුතුයි. ගෙලට හානි වී ගෙල අව පැහැ ගැන්වෙන හේතු කිහිපයක් තිබෙනවා. ඇතැම් අයගේ මුහුණේ සම සිනිඳු වුවත් බෙල්ලේ සම රළු ස්වභාවයක් ගන්නවා. මුහුණට කරන සත්කාර බෙල්ලට සිදු නොකිරීම මෙයට ප්‍රධානම හේතුවයි. දිනපතා මුහුණ පිරිසුදු කළත්, බෙල්ල පිරිසුදු කිරීම බොහෝ අය මඟ හරිනවා. ඔබ මුහුණේ සම ස්ක්‍රබ් කරන විට බෙල්ලත් ස්ක්‍රබ් කරන්න අමතක කරන්න එපා.

බෙල්ලේ සම රැලි වැටීමට විවිධ හේතු බලපානවා. බෙල්ල හොඳීන් පිරිසුදු නොකිරීම නිසා බෙල්ලට ලැබෙන රුධිර සැපයුම අඩු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස බෙල්ල රැලි වැටෙන්න පුළුවන්. මහත අයකු එක වර කෙට්ටු වීමෙනුත්, සමබල ආහාර වේලක් නොගැනීම නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය නොලැබී යාමෙනුත්, ආහාර මාර්ගයේ ඇති රෝගී තත්ත්ව නිසාත්, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීමෙනුත් බෙල්ලේ සම රැලි වැටෙන්න පුළුවන්.

රැලි වැටුණු බෙල්ලක රැලි අඩු කර ගැනීමට නම් සැර සබන් භාවිතය අවම කළ යුතුයි. බේබි සබන් හෝ ෆේස් වොෂ් යොදා බෙල්ල සේදීමටත්, මඳ උණුසුම් ජලයෙන් බෙල්ල තවා සම්බාහනය කිරීමෙනුත්, බෙල්ල සඳහා ව්‍යායාම් කිරීමෙනුත්, දින දෙකකට වරක් ඔලිව් තෙල් ගල්වා සම්බාහනය කිරීම මඟිනුත් බෙල්ලේ රැලි අවම කර ගන්න පුළුවන්.

සම කළු වන්නේ හිරු එළියට නිරාවරණය වීම නිසයි. ඒ නිසා මුහුණේ ආලේප කරන සන් ක්‍රීම් එක බෙල්ලේත් ආලේප කිරීම ඉතා වැදගත්. නැත්නම් මුහුණේ පැහැයට වඩා බෙල්ලේ පැහැය අඳුරු ස්වභාවයක් ගන්නවා. අව්වට යන විට කළු කුඩයක් භාවිත කරන්න. මුහුණට දමන ෆේස් පැක් බෙල්ලටත් දැමිය යුතුයි. කෝමාරිකා යුෂ, අර්තාපල් යුෂ කියන්නේ ඔබේ ගෙලේ අඳුරු පැහැය අඩු කර ගන්න හොඳ ඖෂධ.

බෙල්ල වටා ඇති සම මුහුණේ සම මෙන්ම සංවේදීයි. මුහුණේ වගේම බෙල්ලේත් දුවිලි සහ විසබීජ ඉක්මනින්ම තැවරෙනවා. මුහුණ සෝදනවා වගේම ඉතා සැලකිල්ලෙන් බෙල්ලේ තැවරුණු අපද්‍රව්‍යත්, මේක් - අප් සහ ආලේපනත් සෝදා ඉවත් කළ යුතුයි. නැති නම් කල් ගත වීමත් සමඟ බෙල්ලේ සම මත විවිධ දිලීර අසාදන ඇති වෙනවා. මේ කරුණු ගැන සැලකිලිමත් වුවහොත් ඔබගේ ගැටලුවට විසඳුම් ලබා ගත හැකියි.

බෙල්ලේ නහර ඉලිප්පෙන ගැටලුවට නිවැරැදි පිළිතුරක් ලබා දීමට අපහසුයි. නමුත් උගුර සම්බන්ධ ආබාධ, එක වර කෙට්ටු වීම, අයඩින් ඌනතාවය, අධික කෝපය, නිතර දත් මිටි කෑම වැනි හේතු නිසා බෙල්ලේ නහර මතු වෙන්න ඉඩ තියෙනවා. ආහාර ගැනීමේදී පුරුද්දක් ලෙස එක වර වැඩි ප්‍රමාණයක් මුවට ගැනීමෙනුත් බෙල්ලේ නහර මතු වෙන්න පුළුවන්. එමෙන්ම බෙල්ලේ ඇට දිරා යාමෙනුත් නහර ඉලිප්පී මතු විය හැකියි. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ වෛද්‍යවරයකු හමු වීමයි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

 

2020/09/23 තරුණි බලන්න.