අතට අත දීමේ පුරුද්දට සමුදී ආයුබෝවන් කීමේ පුරුද්ද යළි වඩවමු

අප්‍රේල් 15, 2020

ඉමිහිරි කොවුල් නදින් බක් මහ මංගල්‍යයේ පණිවිඩය සිරි ලක ගම් නියම්ගම් සිසාරා පැතිරී යන්නේ අපේකම සිහිගන්වන ආයුබෝවේවා යන දෑතට දෑත එක් කරන යහ චාරිත්‍රයත් අලුත් කරමිනි.

බ්‍රිතාන්‍ය ආක්‍රමණයත් සමඟ ඈත් වී ගිය මේ සොඳුරු චාරිත්‍රය 2020 වසරේදී අපට අතට අත දී අමුත්තන් නෑහිතමිතුරන් පිළිගන්නා චාරිතය ඉගැන්වූ සුදු ජාතිකයන් විසින් ද අනුගමනය කරනු දැකීම සැබැවින්ම සතුටකි.

ලොවටම පිළිලයක්වූ නව කොරෝනා වෛරසය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීමේ ප්‍රධාන ක්‍රමයක් වන්නේ අතට අත දීමයි. නව කොරෝනා වෛරසය පමණක් නොව අතේ රැඳුණු බැක්ටීරියාවන් දහස් ගණනක් මේ නිසා ශරීරගත වෙයි. හිරු නොබසින අධිරාජ්‍යයේ අග රැජනගේ මී මුනුබුරකු වූ චාල්ස් කුමරු පවා ආයුබෝවේවා කියන අපේ අර්ථවත් චාරිත්‍රය අනුගමනය කරනු ලැබීය.

අප 'ආයු බෝහෝ වේවා' ( ආයුබෝවන් ) කියද්දී අපේ අසල් වැසි දේශයන්වූ ඉන්දියාව 'නමස්තේ' ලෙසින් දෑතට දෑත එක් කර අනෙකාව සුහදව පිළිගනියි. නේපාලය, බංග්ලාදේශය වැනි රටවල ද මේ ආචාර ක්‍රමය දැකිය හැකිය.

නමස්තේ කීමේදී අනෙකාට හිස නවා ආචාර කරනු ලැබේ.

අනෙකාගේ යහපත් ගතිගුණවලට ගරුකිරීම මේ ඉරියව්වේ නැත්නම් මුද්‍රාවේ සැඟවුණු අරුතයි.

මේ චාරිත්‍රයට වසර දහස් ගණනක ඉතිහාසයක් ඇත. මෙසේ කිරීමේදී අනෙකාට ගරු කිරීම වාගේම තමන්ගේ ශක්තිය ද සුරැකෙයි. අතට අතදීමේදී තම ශක්තිය අනෙකා වෙත ගලා යාමක් සිදුවෙන බව පුරාණ වේද ග්‍රන්ථවල සඳහන් කර තිබෙයි.

හින්දු සහ බෞද්ධ සංස්කෘතීන්හි බලපෑම තායිලන්තයේ් ද දැකිය හැකිය. එරට වැසියන් ද අප මෙන් දෑත එක්කර හිස නවා ආචාර කරනු ලැබේ. ඒ ' වායි ' කියා පවසමිනි. ' අප නිරායුදයි. අප සතුව ඇත්තේ සාමය පමණයි. ' යන අරුත එහි ගැබ්වී ඇත. තායි ජාතිකයන් සමාව ඉල්ලන්නේද මෙසේ දෑත් එක්කරමිනි. එහෙත් තායිලන්ත ජාතිකයන් දෑතට දෑත එක්කර වායි කීමේදී 'හෙලෝ ' යන බටහිර අරුත ද ගැබ්ව පවතින බව සමහර භාෂා විශේෂඥයන්ගේ අදහසයි.

ඉදිරියෙන් සිටින පුද්ගලයාගේ වැඩිහිටිකම, සමාජ මට්ටම අනුව ආචාර කරන්නේ පපුව ළඟ දෑත් තබා ගෙන ද එසේ නොමැති නම් හිසට උඩින් දෑත් තබා ද යන්න තීරණය වෙයි. භික්ෂූන් වහන්සේ නමකට රෙට් රජතුමාට ආචාර කිරීමේදී හිස නැවීම ද සිදුකරයි.

මුවින් වදනක් හෝ නොපවසා හිස නවා ආචාර කිරීම ජපන් ජාතිකයන්ගේ සිරිතය. මේ චාරිත්‍රය ජපන් සංස්කෘතියට උරුම වුණේ හත් වැනි සියවස තරම් ඈත ඉතිහාසයේ දී චීනයෙනි. කුලවතුන්ට පමණක් සීමාවී තිබුණු මේ චාරිත්‍රය 17 වැනි සියවෙස්දී සාමාන්‍ය ජනතාව අතර ද ව්‍යාප්ත විය. පන්ති පරතරය ද පෙන්නුම් කිරීමට ඇරැඹුණු මේ චාරිත්‍රය පසුව එරටට ආවේණික විය. සිරුරම නවා ආචාර කරන්නේ තමන් අනෙකාට වඩා පහත් බව පෙන්නීමටය.

වර්තමානයේ ජපන් ජාතිකයන්ගේ හිස නැමීමේ චාරිත්‍රය නවීකරණය වී තිබෙයි. යාන්තමට හිස නවමින් එකිනෙකාට ආචාර කිරීමට ඔවුන් වර්තමානෙය් මේ චාරිත්‍රය යොදා ගනු ලබයි.

දැන් දැන් මේ චාරිත්‍රය දැකිය හැකිවන්නේ සාම්ප්‍රදායික උත්සවයකදී හෝ එවැනි වෙනත් අවස්ථාවකදී පමණය. මේ හිස නැමීමේ චාරිත්‍රයෙන් තවත් පණිවිඩ ගණනාවක් සන්නිවේදනය වෙයි.

තමන්ට අනෙකාට පහර දීමේ අදහසක් නැති බව එක් අදහසකි.

'හෙලො'යන අදහසින් නැවෙන විට කඳ අංශක 15 කට ද තමන්ට වඩා ඉහළ කෙනකුට ගරු කරන විට අංශක 30 ක ප්‍රමාණයෙන් ද සමාව ඉල්ලන විට හෝ ඉහළ ගරු කිරීමකදී අංශක 45 කින් ද කඳ නවා ආචාර කරනු ලබයි. බොහෝ ජපන් ජාතිකයන් හිස නමා ආචාර කිරීමේ පුරාණ චාරිත්‍රයට සමුදී අතට අත දීමේ චාරිත්‍රයට හැඩ ගැසී තිබුණ ද යළි පැරැණි චාරිත්‍රය අනුගමනය කිරීමට නව කොරෝනා වෛරසය ඉඩ ප්‍රස්තාව උදා කරදී තිබෙයි.

සැම්බියාව මේ වන විට බටහිර පන්නයට හැඩ ගැසී ඇති රාජ්‍යයක් වුවත් එරට කුන්දා ජනවර්ගය ඇතුළු සැම්බියා වැසියන් සතුව අපූරු පිළිගැනීමේ චාරිත්‍රයක් පවතියි. අත්ල වකුටු කර අප ආයුබෝවන් කියන විටදී මෙන් දෑත් ළං කර කිහිප වරක් අප්පුඩි ගැසීම ඒ චාරිත්‍රයයි. එසේ අප්පුඩි ගසා ඔවුන් 'මුලිබ්වාන්ජි' ලෙස පවසයි. එහි අරුත 'හෙලෝ' යන්නය. දවෙස් ඕනෑම වේලාවක එසේ පැවසිය හැකිය. 'මුවාකාබ්වාන්ජි' ලෙස පවසන්නේ උදේ කාලයටය. සුබ උදෑසනක් යන අදහස එයින් කියවෙයි. නැන්දා මාමාට ගරු කිරීමේදී සිරුර නැවීමෙන් වැඩි ගෞරවයක් පෙන්නුම් කරයි. වෙනත් වැඩිහිටියන් ඉදිරියේදී තම පපුවට අත තබා උදරය හකුළුවා දෙපා යාන්තමට නවා අචාර කරනු ලබයි.

සැම්බියාව ජනවර්ග හැත්තෑවකගේ පමණ වාස භූම්යයි. එහෙත් මේ චාරිත්‍රය ගම් නගර පුරා ප්‍රචලිතව පැවතිණි.

බිලියන 1.8 ක් පමණ වන මුස්ලිම් ප්‍රජාව ආචාර කරන්නේ 'අස් - සලාම් - අලෙයිකුම්' කියාය. ඔබට සාමය උදාවේවා යන්න ඔවුගේ ආචාර කිරීමේ ප්‍රධාන පරමාර්ථයය. සාමය ඔවුනගේ කොඳු නාරටියය. සුබ පැතීම ආගමික වතාවත්වල කොටසකි. දකුණත පපුවට තබා ඔවුන් ආචාර කරන්නේ ආත්මය වැතිර සිටින්නේ හදවතේ යන විශ්වාසය සිත්හි දරා ගෙනය. විරුද්ධ ලිංගිකයන් අතකින් හෝ ස්පර්ශ කිරීම සපුරා හනම්ය.

අතට අත නොදී හදවතින්ම සුබ පතන ජාතීන් ලොව කෙතරම් සිටිනවාද ? මේ වටිනා සංස්කෘතික උරුමය වැඩි දෙනකුගෙන් ගිලිහී ගියේ බටහිර ආක්‍රමණය සමඟිනි. දෛවයේ සරදමක් මෙන් විසබීජ හුවමාරු කර ගැනීමේ චාරිත්‍රයක් වන අතට අත දීම වෙනුවට යළි සාම්ප්‍රදායික චාරිත්‍රයට අනුගත වීමට නව කොරෝනා වෛරසය නිසා සියලු ජාතීන්ට අවස්ථාව උදාවී තිබෙයි. බක් මහ මංගල්‍යයේදී පමණක් දෑත් එක්කර ආයුබෝවන් කියන අපට ද 2020 වසරේ බක් මහ උලෙළ සුවිශේෂීය. සෑම දිනයකදීම දෑත් එක්කර ආයුබෝවන් කීමේ වටිනාකම මේ වසෙර්දී පමණ වෙනත් කිසිදු වසරක අපේ හදවත්වලට දැනී නැත. ආයුබෝවන් කිව හැක්කේ නීරෝගි සුවය ඇති විටය. සුවපත් දිවියක් ගත කිරීමට නම් පරදේ්සක්කාරයන්ගේ අතට අතදීමේ පුරුද්දට සමදී ආයුබෝවන් කීමට පටන් ගත යුතුය. මේ ඊට හොඳම කාලයයි.