කොරෝනාවෙන් අලුත් පාඩමක්

මහාචාර්ය දයාරෝහණ අතුකෝරාල
අප්‍රේල් 22, 2020

මිනිසාට වරින් වර නොයෙකුත් ව්‍යසන වලට මුහුණ දීමට සිදු වූ බව ඉතිහාසයේ සඳහන් වී තිබෙනවා. කලින් කලට පැමිණි මේ ව්‍යසන හැම එකකින්ම මිනිසා හොඳ පාඩමක් ඉගෙන ගෙන තිබෙන බවද කිව යුතුය.

ස්වභාවධර්මයත් සමග ගනුදෙනු කරන විටදී කිසියම් සීමාවක් තිබෙනවා. මිනිසාද ස්වභාවධර්මයේ කොටස් කාරයෙක් නිසා එයට කරදරයක් වන විට එසේ නැතිනම් එහි සීමාව ඉක්මවා යන විටදී ස්වභාවධර්මය විසින්ම යම් කිසි විපරීත වැඩ කරන්නට පටන් ගන්නවා. එහිදි අප ඉගෙන ගත යුතු හොඳ පාඩමක් තියෙනවා. ඒ උපතේ සිටම පරිසරය සමග බද්ධ වී සිටින අප එයින් ඉවත් වීම බෙහෙවින් බලපෑම් ඇති කරන බවයි.

කොරෝනා -19 වෛරසය නිසා ඇති වූ ව්‍යසන අවස්ථාව මාසයක් පමණ තනි තනිව හුදකලා වී අලුත් අත්දැකීම් ලැබූ අපට පාඩම් කිහිපයක් ඉගෙනීමට හොඳ අවස්ථාවක්. විශේෂයෙන් කාන්තා පක්ෂයට, ගෘහණියට, අම්මලාට, තරුණියන්ට සාකච්ඡා කිරීමට හොඳ දේවල් තිබෙනවා. හුදෙකලා වී මාසයක් ගත වූ පසු කිසියම් සහනයක් ලැබී අපට විවිධ කාර්‍යයන් සඳහා නගරයට යාමට සිදුවෙනවා. මෙහිදී රැකියාවට, පාසලට, වෙනත් අවස්ථාවකට යෑමේදී අප පිළිපැදිය යුතු වන්නේ කෙසේදැයි අප සිතා බලමු.

මේ ව්‍යසන අවස්ථාව එළඹීමට පෙර ඉස්කෝලයක් ඇරුණු වෙලාවට, වෙළෙඳ පොළට හෝ වෙනත් පොදු ස්ථානයකට ගිය විටදි කෙතරම් පොර කනවද? නමුත් මේ හැම දෙනාම තම කාර්‍යයන් ඉටු කර ගෙන ගෙදර යනවා නේද?. එසේ පොර කමින් අන් අයගෙ හිත් රිදවන්නෙ නැතිව හොඳින් ගියා නම් මේ හැමදෙයක්ම කරගෙන යාමට පුළුවන් කම තිබුණා. රථවාහන පදවාගෙන යන විටදීද මෙය පැහැදිලි වෙනවා.

මාර්ගය තුළ රථවාහන හිරකරගත්විට අප කාහටවත් යන්නට අපහසු වෙනවා. ස්වයං විනයක් තිබීමේ වටිනාකම මෙහිදී හොඳින් පැහැදිලි වෙනවා. වාහන අතර පරතරයක් තබා ගත යුතුයි. එලෙසම වැඩියෙන් පිරිස් එක්වන ස්ථාන වලදීද පරතරයේ ඇති වටිනාකම කොතරම්ද කිවහොත් අනෙකුත් රෝග වළක්වා ගැනීමටද පුළුවනි.

කොරියාව ජපානය වැනි රටවල මේ ස්වයං විනය බාලවියේ සිටම පුරුදු කර තිබෙනවා. හැම විටම අත් සෝදනවා. මුඛ වැස්මක් පාවිච්චි කරනවා.එලෙසම සමාජයේ දී දුරස්ථභාවය රැකගන්නවා. මේ කරුණු දෙක ජපානයේ පෙර පාසල් වලදිම පුරුදු කරනවා. එය අපේ රටේ ජනතාවටත් කළ හැකිනම් තමා ආරක්ෂා වෙනවා වාගේම තමා නිසා වෙනත් අයෙක් හිරිහැරයට පත්වීමද වලකිනවා. එම පාඩම ඉගෙනීමටද අධිෂ්ඨාන කර ගනිමු.

ඊළඟ පාඩම වන්නේ මුදල් කළමනාකරණයයි. මා හිතනවා පසුගිය කාලය තුළ කාහටත් ඒ පිළිබඳව හොඳ පාඩමක් ඉගෙන ගන්නට හැකිවුණා. පසුගිය කාලය තුළ කී දෙනකුට රජයෙන් මුදල් දෙන්නට සිදු වුණාද? මේ හැමදෙනාම මුදල් ඉපැයූ අය නේද? සාමාන්‍ය ත්‍රීරෝද රථ රියැදුරෙක් වුවත් මාසයකට රුපියල් තුන්හාරදහසක් ඉතිරි කර ගන්නට පුළුවන් කම තිබුණා. එය කළ බවක් පෙනණේ නෑ. ගොවියන්‍ටද අස්වැන්න විකුණා මුදල් ගන්නා විටදී හදිස්සියකදි ගන්න මුදල් තිබුණේ නෑ.මේ සියලුදෙනාගෙන්ම පැහැදිලි වනුයේ මුදල් වියදම් කිරීම පිළිබඳ අප මීට වැඩියෙන් හිතන්න ඕනෑ බවයි.

බුදු හාමුදුරුවෝ අපට දේශනා කර ඇත්තේ “ආපදානෝතී භවිස්සති” ආපදාවකදි භාවිතයට උපයන මුදලින් හතරෙන් එකක් ඉතිරි කරන ලෙසටයි. අප රටේ කී දෙනෙක් මෙය පිළිපැද තිබෙනවාද? ලංකාව පමණක් නොවෙයි බොහෝ රටවල එහෙමයි. මා ඔස්ට්‍රේලියාව ගැන අසා දැනගත්තා. ඒ අය ජනගහනයෙන් තුනෙන් එකකට ඉතිරි කිරීම ඩොලර් දාහක් වත් නැහැ. එහි මාසයක් පඩි නොලැබුණොත් ඊළඟ මාසයේ කෑමට මුදල් නෑ. අද ලෝකයේම තිබෙන්නේ අධිපරිභෝජනයක්. මේ අවස්ථාවේදී අප හොඳින් සිහියට ගන්න ඕනෑ. ඉතිරි කිරීමේ පුරුද්දට යන්න ඕනෑ.

රජයෙන් රුපියල් පන්දහස දෙනතුරු බලා නොසිට එම මුදල අප ළග තිබිය යුතුයි. රැකියාව නැති වූ විටකදී කන්න ඕනෑ කියා හිතන්න ඕනෑ. හැමදෙයක්ම දෙනතුරු බලා සිටීම මහා නිවටකමක් බව හිතන්න. මේ වාරයේ සිට මුදල් ඉතිරි කිරීම ආරම්භ කරන්න. බැංකු සමග ගනුදෙනු කරන්න . අඩුම තරමේ මාසයකට රුපියල් පනහක් වත් ඉතිරිකරන්න පුරුද්දක් ඇති කරගන්න. මෙපමණ කාලයක් ජීවත් වුණා රුපියල් පන්දාහක් වත් ඉතිරි කර ගන්න බැරි වුණා කියන්නට කියල ලැජ්ජාවෙන්න ඕනෑ.

අපි හම්බකරන්නේ ටිකයි. ඉතින් අපි මුදල් ඉතිරි කරගන්නෙ කෙසේද?ඔබ මෙසේ සිතාවි.

ඉතිරි කිරීමට මුදල් නාස්තිය අඩු කරගන්න ඕනෑ. අප මුදල් කොතරම් නාස්ති කරනවාද? අපට ඇඳුම් තිබියදී තවත් ඇඳුම් ගෙනැවිත් පුරවගන්නවාද? මෙදා අවුරුද්දට අලුත් ඇඳුම් ගත්තෙ නෑ කියා අඳින්නෙ නැතිව හිටියාද? අනවශ්‍ය ඇඳුම් සපත්තු ගොඩක් පුරවගන්න එපා හැමවිටම කළමනාකරණය ගැන දෙවරක් හිතන්න. අනෙකුත් අය කරන දෙස බලා එය කරන්නට යන්න එපා. මුදල් නාස්ති වන ක්‍රම පුළුවන් පමණින් අඩු කර ගන්න.

අගෙදරින් ගන්න ආහාර ගැන දෙවරක් හිතන්න. හොඳම අවස්ථාවක් දැන් ලෝකයේම ඉඹ්ර්‍ණඑ ජ්ර්‍ණර්‍ණච්ඉ . ගෙදර හෙමින් උයාගන්න කෑම ගැන අලුත් ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා. පසුගිය කාලයේ පහසුවට ජ්ඒඉඊ ජ්ර්‍ණර්‍ණච්ඉ හෝටලයෙන් ගැනීමට පුරුදු වුණා.

ජ්ඒඉඊ ජ්ර්‍ණර්‍ණච් සංකල්පය වෙනුවට ඉඹ්ර්‍ණඑ ජ්ර්‍ණර්‍ණච්ඉ වලට පුරුදු විය යුතුයි. ජ්ඒඉඊ ජ්ර්‍ණර්‍ණච්ඉ දැන් අලුත් නමකින් හඳුන්වනවා. ච්ඡ්ඒච්ඉ ජ්ර්‍ණර්‍ණච්ඉ කියනවා

මැරෙන්න කන කෑම. කෘත්‍රීම රසකාරක දමා පිළියෙල කරන පිළිකා කාරක ආහාර එසේ හඳුන්වා දෙනවා.අපි දැන් ගෙදරින් හදාගෙන යන ආහාර කෑමට පුරුදු වෙන්න. අප ඉස්සර කෑමට එළවළු දෙකක් කොළ මැල්ලුමක් සලාදයක් බත් ටිකක් කෙසෙල් කොළයක ඔතාගෙන ගිහින් කෑවා. අනවශ්‍ය ආකාරයට වර්ග 8-10 ක් සමග මස් මාංස කෑම අඩුකර ගන්න ඉගෙන ගන්න වෙනවා අප දන්නවා සතුන් මරන්නේ කොහොමද කියා. කුකුල්ලු බෝවීම වැඩිකරගන්න හෝමෝන ගහනවා. වැඩි රස නැතිනම් කන්න බැරි පුරුද්ද නැති කරගන්න මාසයක් තුළ පුරුදු වුණා. එම පුරුද්ද දිගටම ගෙන යන්න. එක වේලකට මස් කන මුදල් ප්‍රමාණයෙන් දවස් දෙකක් එළවළු සමග බත් කන්න පුළුවනි.

කොරෝනා මම දකින්නෙ වෙස් වලාගෙන පැමිණි ආශීර්වාදයක් හැටියටයි.තමන්ටත් අනුන්ටත් හිරිහැරයක් නොවන්න ජීවත් වෙන්නේ කොහොමද ? මේ ලෙස ජීවිතයට ආරෝපණයක් ඇති කර ගතහොත් අපට ඉදිරියේදී සතුටෙන් බොහෝ කල් ජීවිතය ගත කරන්න පුළුවනි.

හුදකලා වූ මාසය ඉගැන්වූ ඊළඟ පාඩම අපට අනවශ්‍ය වෛද්‍ය පරීක්ෂණයි. මේ මාසයේ ඔබ හෝ පවුලේ කෙනෙක් අනවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ කර තිබෙනවාද? අනවශ්‍ය බෙහෙත් ගෙන තිබෙනවාද ? මාසයක් ගෙදර සිටියා පරීක්ෂණ වලට ගියාද? අනවශ්‍ය ලෙස බෙහෙත් ගෙන තිබෙනවා ද? බෙහෙත් වලින් තොර ශරීරයක් හදාගන්න මාසයක් පුරුදු වීම හොඳ පාඩමක්.

මේ දවස්වල කොත්තමල්ලි වෙනිවැල්ගැට ඉඟුරු මේවා කොපමණ බිව්වද? මේ වනතුරු හිටියේ ඇයි? අපේ ශරීරයේ ප්‍රතිශක්තිය නැති කර ගත් රටවල් වල දහස් ගණන් මැරීගෙන යන්නේ ඇමරිකාවේ මිනිසුන්ගේ ප්‍රතිශක්තිය ඌණ වෙලා. කොරෝනා වැලඳුණු ගමන් ඇඟට ඔරොත්තු දෙන්නෙ නෑ. ඒ අතින් අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිය වැඩිවීමක් තවමත් තිබෙනවා. අපගේ ආහාර පද්ධතිය නිසා. අපි එළවළු කන්න පුරුදුවෙලා තිබුණා. කොත්තමල්ලි ,වෙනිවැල්ගැට ආදී සිංහල බෙහෙත් ද්‍රව්‍ය කෑමට ගැනෙනවා. මෙය පාඩමකට ගෙන පුංචි සෙම්ප්‍රතිශ්‍යාවටත් ප්‍රතිජීවක ගන්නෙ නැතිව තමන්ගේ ශරීරය ට ප්‍රතිදේහ නිපදවන තුරු සිටින්න පුරුදු වෙන්න ඕනෑ. අනවශ්‍ය අයුරින් බෙහෙත් ගැනීම නවතා ගන්න.

හොඳ ආකල්පයක් ගොඩ නගා ගනිමු. එම පාඩමත් අපි කොරෝනා වලින් ඉගෙන ගනිමු. හුදෙකලා වී මාසයක් ගෙදර ට වී සිට අපට ශරීරයේ ක්‍රියාවලියට හොඳට වතුර බොන්නඕනෑ. අනවශ්‍ය වැඩ අඩු වූ විට මානසික ආතතියද අඩු වෙනවා. පොත් කියවන්න පුරුදු වෙන්න. එය මේ මාසයේ දී පුරුදු වුණා නම් පුරුද්ද දිගටම ගෙන යන්න. අවසාන වශයෙන් ඉගෙන ගන්න ඕනෑ පාඩම් අධ්‍යාත්මික සංවර්ධනයයි. මේ දවස්වල තමයි ලංකාව බෞද්ධකම මතක් වෙලා තියෙන්නේ. හැම පැත්තකින්ම පිරිත් ඇහෙනවා. තුන් සූත්‍රය කියන්නෙ අපේ ගෙවල් වලට අවශ්‍ය ම දෙයක්. මේ පුරුද්ද කොරෝනා අවසන් වීමෙන් පසුවත් දිගටම පවත්වාගෙන යමු. අධ්‍යාත්මික පැත්ත හොඳට දියුණු කරන්න. අපි ඇවතුම් පැවතුම් වස විස දේවල් වලට යන්නෙ නැතිව මේ ඉගෙන ගත් පාඩම තළින් යටපත් වූ ආර්ථිකය ගොඩ නගා ගැනීමට හොඳ පාඩමක් කොරෝනා වලින් ඉගෙන ගත්තා. විශේෂයෙන් කාන්තා පරපුර මේ පාඩම් ක්‍රියාත්මක කරන්නට හොඳ දක්ෂයෝ. අම්මලා අක්කලා නංගිලා හැමවිටම දෙවරක් හිතන්න.දැන් අපේ ගෙදර කළ යුතු වෙනස් කම් මොනවාද? කොපමණ මුදල් නාස්තිය අඩු කරගන්න ඉදිරියේදී කටයුතු කිරීමට ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකර ගෙන හදිසි තත්ත්වයේදී කාහටවත් ඉදිරියේ අතනොපා ජීවත් වෙන්න පුරුදු වෙන්න. මේ පාඩම් ටික ඉගෙන ගෙන හැම අභියෝගයක්ම ජය ගන්න අවස්ථාවක් කරගෙන ඉදිරි පිම්මක් පැනීමට සිතට ගන්න. ඒ සදහා ඔබ සැමට වාසනාව ඇති වේවා කියා ප්‍රාර්ථනා කරනවා.