උණුසුම් වාද විවාවලින් යුග දිවිය ගිනි නොතබන්න

ජුනි 10, 2020

වාද විවාද, වරදවා වටහා ගැනීම්, සන්නිවේදනයේ හිස්තැන්, දිගු නිහැඬියාව යුවළකගේ ආදර සබඳතාවට අකුණු, කුනාටු, ඇතැම් විට හෙණ මෙන් පහත් වෙයි. මේවා බැලූ බැල්මට අසුබවාදී වුව ද ඒවා ද පලදායක වදන් හුවමාරුවකට කසකරුවන් බඳුය.

මෑතකදී කරන ලද අධ්‍යයනයකට අනුව දික්කසාදයට ප්‍රධානම හේතුව යුවළකගේ සන්නිවේදනය බින්දුවටම පිරිහීමය. දික්කසාදවලින් අඩකට වඩා හේතුවී ඇත්තේ මේ දුර්වලකමයි. පලදායක සන්නිවේදනයකට මුල පිරිය හැකි නම් යුග දිවිය නම් ශබ්ද කෝෂයෙන් දික්කසාදය යන වචනය සම්පූර්ණයෙන්ම මකා දැමිය හැකිය.

දිගු කාලීන යහපත් සබඳතාවකට කායික මානසික යන දෙආකාරයේම බැඳීම වැදගත් වෙයි. එයින් එකිනෙකාගේ ඕනෑ එපාකම් ගැන සොයා බැලීමට එකිනෙකා අවබෝධකර ගැනීමට පදනම වැටෙයි.

පතිපතිනියන් අතරේ කිසිදු සබඳතාවක් නැත්නම් විවාහ සංස්ථාව දෙදරා යාමට පටන් ගනියි

හොඳ සන්නිවේදනයකින් එකිනෙකාගේ හැඟීම් හෙළිවෙයි. අකැමැති දේ, අවශ්‍යතා, විශ්වාස සියල්ල දැන ගැනීමට ලැබෙයි.

සෑම සන්නිවේදනයක්ම ගැඹුරු, ඉලක්ක, අවශ්‍යතා අනුව සිදුවිය යුතුයි කියා සිතුවොත් වැරැදිය. තේරුමක් නැති සරල දෙබසකින් පවා සම්බන්ධතාවකට ශක්තියක් ලැබෙයි.

ප්‍රතිවිරුද්ධ අදහස් ඇති මාතෘකා කතා නොකර මඟ හැරීම නුවණට හුරුයි කියා සිතුව ද හොඳ දෙබස් හුවමාරුවකට එයින් ද පන්නරයක් ලැබෙයි. මිථිලාත් නාලකත් දේශපාලන වශයෙන් පරස්පර අදහස් දරන්නන්ය. දෙදෙනාගේ දේශපාලන සාකච්ඡා අවසානයේ උණුසුම් විවාද තරගයක් බවට පත්වෙයි. එහෙ.් කුමන මොහොතකදීවත් යුග දිවියේ සාමදානය අවුළන ගිනි කන්දක් බවට මේ දේශපාලන වාග් සංග්‍රාම පත් නොකරන්නට දෙදෙනාම වගබලාගනියි. තමන්ට ප්‍රතිවිරුද්ධ අදහස් අනෙකාගේ තිබුණ ද එය ආදරය අනාදරයක් බවට පත් කරන්නට හේතු වන්නේ නැත.

උණුසුම් වාදයක් නරක අතට හැරෙන බව පෙනෙන විට එක් තරුණ බිරියක් අපූරු උපක්‍රමකින් එය ධනාත්මක කළාය. “ උණුුසුම් වාද විවාදවල මැදදී මං ඇස් පියා ගෙන දහයට ගණිනවා. මගේ හුස්ම ගැනීම ගැන විතරක් හිතනවා. ඒ වෙලාවට වචනයක්වත් කතා කරන්නේ නැහැ. දෑස් අරින කොට හිත සන්සුන් වෙලා.” අසුන්දර ලෙස අවසන් වීමට යන වාදයක් ඇය සුන්දරකර ගන්නේ එලෙසින්ය. ඒ උපක්‍රමය ඇයට මවගෙන් දායාද වූවකි.

දෙන්නා දෙමහල්ලන් ප්‍රකෝප ගැන්වෙන වාදයකදී මෙවැනි මඳ විරාමයක් ඉතා අගනේය.

සංවාදයක් කියන්නේ දෙදෙනාම කතා කිරීම සහ සවන් දීමය. එහෙත් ඇතැම් පුද්ගලයන් ඉදිරියේදී සවන් දීමට පමණක් සිදුවෙයි. යුග දිවියේදී එසේ නොවිය යුත්තේ එසේ වුවහොත් එකිනෙකාට එකිනෙකා ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වන බැවිනි. අනෙකාට කතා කරන්නට ඉඩ නොදී තමන් පමණක් කතා කිරීම සමහරුන්ගේ උපන් පුරුද්දකි. විවාහයේදී මේ පුරුද්දට සමු දීමට සිදුවෙයි.

වාද විවාද මොන තරම් උණුසුම් වුවත් එදා දවසේම එය අවසන් කළ යුතුය. කිසිදු වාදයක් පසු දින දක්වා දුර දිග රැගෙන යායුතු නැත. සිනාමුසුව නින්දට යාමට තරම් වාදයේ උණුසුම සිසිල් කර ගැනීම යහපත් අඹුසැමියන්ගේ ලක්ෂණයකි. වාද වී අමනාපයෙන් කෝපයෙන් නින්දට නොයා යුතු බව මමෝ වෛද්‍යවරුන් නිතර පවසන්නකි.

සන්නිවේදනයේ තවත් වැදගත් දෙයක් නම් ගැඹුරින් සවන් දීමයි. එය සාර්ථක යුග දිවියකට අත්‍යාවශ්‍යය. යමක් කරන අතරවාරයේ සවන් දෙනවා නම් එයින් අදහස් කෙරෙන්නේ ඕනෑකමින් සවන් නොදෙන බවයි. අවංකව සවන් දෙනවා නම් සවන් දෙන මොහොතේ වෙනත් කාර්යයක යෙදීමට නොහැකි බව ස්කොට් පෙට් විසින් සඳහන්කර ඇත.

බිරියක ලෙස මොනතරම් කාර්යබහුල වුණත් සැමියාට සවන් දීමේදී සියල්ල නතරකර ඔහුට සවන් දෙන්න. මෙය සැමියාට ද බිරිය සම්බන්ධයෙන් පොදු වූවකි.

තවත් බිරින්දෑවරුන් සැමියා යමක් පවසද්දී දවල් සිහින දකියි. එසේ නොමැති නම් බඩු ලැයිස්තුවේ අඩුපාඩු ගැන සිහි ගන්වයි. එය ද සැමියා කෝප ගන්වන්නට හේතුවන වැරැදි සන්නිවේදන ප්‍රතිචාරයකි.