අලුත බැන්ද යුවළට දරුවකු හදන්න හොඳම කාලය කුමක්ද?

මාර්තු 17, 2021

 

එදා නිවාඩු දවසක්.සීතල සුළං හමන දවසක්.හිරණ්‍යා වෙනදාට වඩා ටිකක් වැඩියෙන් නිදා ගත්තා.එළිය වැටිලා තියෙනවා දකිද්දී ඇය එක්වරම අවදි වුණා. ඇඳේ අනෙක් පැත්තේ සේමිත හිටියෙත් නැහැ.ඇඟමැලි කඩලා ඇඳෙන් බහින්න හදද්දිම සේමිත ආවේ උණු උණු තේ කෝප්ප දෙකක් අත් දෙකට අරන්.

 

"ආ ඔයා තේ ත් හදලා."

"මට ලෝබ හිතුණා,මගේ සුදුමැණිකෙව නැගිට්ටවන්න."

උණු උණු තේ කෝප්පයත් සමඟින් හිරණ්‍යාට සේමිතගෙන් උණුසුම් හාද්දකුත් ලැබුණා.

තේ කෝප්පය තොල ගාන ගමන් හිරණ්‍යා දන්නෙම නැතුව කල්පනාවක නිමග්න වුණා.

"ඉතිං ඔයා මොනවද කල්පනා කරන්නේ"

"මම හිතුවේ ඔයාගේ ඔය ලස්සන ගතිගුණ, හැඩහුරුකම තියෙන පුංචි දුවෙක් හරි පු⁣තෙක් හරි අපි අතරට එන දවස ගැන.ඇත්තටම ඔයා කැමැති දුවෙකුට ද පුතෙකුට ද? " එහෙම ඇහුවේ හිරණ්‍යා.

" කවුරු වුණාම මොකද ඒ දරුවා අපි දෙන්නගෙම නේ. හැබැයි ඉතිං මං කැමැතියි ඔයා වගේම හුරුබුහුටි දුවෙක් ඉස්ඉස්සෙල්ලම අපි අතරට එනවනම්."

ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ ගැන සේමිතට කිව්වේ එයාගේ ඔෆිස් එකේ යාළුවෙක්. හිරණ්‍යාත් කැමැති වුණු නිසා නොපැකිළවම මේ වෛද්‍යවරයා මුණ ගැහෙන්න තීරණය කළා.

ඔවුන්ට ඕනෑවුණේ වෛද්‍යවරයාගෙන් සරුකාලය පිළිබඳ දැන ගන්න.වෛද්‍යවරයාගෙන් දැන කියා ගත්ත කරුණු කාරණා දරුඵල සිහිනය යථාර්ථයක් කරගන්න හිතන අනෙක් අය අතරෙත් බෙදා ගත්තොත් හොඳයි කියලා දෙන්නටම හිතුණා. විශේෂඥ වෛද්‍යවරයා සරු කාලය සහ සරු කාලයේ දී එකතු වීමේ අවශ්‍යතාව පිළිබඳ සේමිත සහ හිරණ්‍යාට මැනවින් පැහැදිලි කර දුන්නා.

නියමිත වයසේ දී විවාහ දිවියට එළැඹීම හරිම වැදගත්. එය අවුරුදු 20 -22 ට මෙහා වීමත් අවුරුදු 35 - 40ට වැඩි වීමත් වෙනුවට ඒ අතර මැද කාලයක් වීම වැදගත්. අවුරුදු 40කට ආසන්න වෙද්දී ඩිම්බ මේරීම අඩුවෙන්න පුළුවන්. මාසික ඔසප්වීම නියමිත පරිදි සිදු වුවත් ඩිම්බයක් පැමිණීම මාසයක් ගානේ සිදුවන්නේ නැහැ.

මාසික ඔසප්වීමෙන් පසු පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකි කාලය සරු කාලයයි. දින 28කට වරක් නියමිත පරිදි ඔසප්වීම සිදුවන කෙනකුට සරු කාලය පැහැදිලිව හඳුනාගත හැකියි. ඒ1 යනු ඔසප්වීම සිදු වු පළමු දවස. මෙය දින 4 - 6 දක්වා යාවී. නැවත ඊළඟ ඔසප් වීම සිදුවන්නේ දින 28ක පසුව. සරු කාලය යනු ඩිම්බයක් ඩිම්බකෝෂවලින් පිටතට එන දවස. මාසික ඔසප්වීම සිදුවීම ආරම්භ වීම 14 වන දිනය, මෙලෙස ඩිම්බ කෝෂය පිටතට එන දවසයි. මෙය සිදුවන්නේ සියයට 10කට පිරිසකටයි. මාසික ඔසප් වීම සිදුවී දින 10 - 16 අතර දිනක් හැර දිනක් හෝ දින දෙකකට වරක් එක්වීම ප්‍රමාණවත්. මෙය දින 28කට වරක් ඔසප් වීම සිදුවන අයට සුදුසු ක්‍රමවේදයයි.

සෑම මසකම දින 35කට වරක් ඔසප් වීම සිදුවන අයකුට සරු කාලය වන්නේ 35වන දිනට දින 14ක් පෙර දිනයයි.

අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති අයට සරු කාලය හඳුනා ගැනීම අපහසුයි.

විවාහ වී දරුවකු පිළිසිඳ ගැනීමට ගතවන කාලය මේ යැයි කීමට නොහැකියි. වයස තමයි මුලිකවම බලාපානුයේ. තරුණ අයට පිළිසිඳ ගැනීමේ හැකියාව වැඩිවන්නේ ඔවුන්ගේ ශරීර වෙනත් රෝග සඳහා ගොදුරු වී නොමැති නිසා මෙය වයස වැඩිවන්න වැඩිවන්න පිළිසිඳ ගැනීමකට ඇති ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවෙන්න පුුළුවන්.

ශුක්‍රාණුවක් ගැබ්ගෙලෙන් ඇතුළු වූ පසු දින 3 - 6 අතර කාලයක් සක්‍රීයව පවතිවී. ඩිම්බයක් පිටතට ආවොත් පිළිසිඳ ගැනීමක් සිදුවේවි. මේ නිසායි දිනක් හැර දිනක්, දින දෙකකට වරක් එකතු වීම සුදුසු යැයි පවසන්නේ.

ඩිම්බයක් පිටතට පැමිණෙන සරු කාලය සොයා ගැනීමට තවත් නොයෙකුත් ක්‍රම තිබෙනවා. සරු කාලය පටන් ගනිද්දී එනම් ඩිම්බය නිකුත් වන්නට ආසන්නයේ සිරුරේ උෂ්ණත්වය තරමක් ඉහළ යයි. මේ නිසා උදෑසනම අවදි වී උෂ්ණත්වය මැනීමට පුරුදුව සිට ඒ අනුව එක්වීම කළ හැකියි.

තවත් කෙනකුට සරු කාලය එළැඹ තිබිය දී ගැබ්ගෙලෙන් අවර්ණ ස්‍රාවයක් තරමක් වැඩි වී පිටතට පැමිණිය හැකියි. මෙය ද සරු කාලය සොයා ගැනීමට හැකි තවත් කාරණයකි.

පියයුරුවල තරමක වේදනාවක්, ඩිම්බය මෝචනය වද්දී තරමක උදර වේදනාවක් කෙනකුට දැනිය හැකියි. මෙය ද සරු කාලය ආරම්භයේ සිදුවිය හැකි දෙයකි. තවත් සමහරුන්ට රුධිරය බිංදුවක්, දෙකක් පිටව යන්නත් පුළුවනි.

වෛද්‍ය හමුවක දී නම් ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් හඳුනා ගත හැකිියි.

එකම කාන්තාවගේ වුවත් මාසයෙන් මාසයට මේ ලක්ෂණ වෙනස් වීමට පුළුවන.

පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන්නියක් මාස 3කට පෙර සිටත් ෆෝලික් ඇසිඩ් පෙති ගැනීම පෝෂ්‍යදායී සමබල ආහාරවේලක් ගැනීම වැදගත්.

එසේම දියවැඩියාව, මීමැස්මොරය ආදී රෝග සඳහා ඖෂධ ගන්නා කෙනෙකු නම් ඒ බව වෛද්‍යවරයාට පැවසිය යුතුයි. මෙතෙක් ගත් ඖෂධ වෛද්‍යවරයා වෙනස් කරාවි.

“සරු කාලය පිළිබඳ ලැබු මේ අවබෝධය ප්‍රායෝගිකව ක්‍රියාත්මක බලන්න. නොදුරු දිනකදීම අපට ගැබිනියක් ලෙස ඔබව මුණ ගැසේවි.”

වෛද්‍යවරයාගේ මේ වදන්, අවවාද, කරුණු කාරණා සිත අභ්‍යන්තරයට ගත් සේමිත සහ හිරණ්‍යා පිටතට ආවේ බලාපොරොත්තු රැසක් ගොනුකර ගනිමිනි.

 

 

පදෙස්

ද සොයිසා කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ ගෙනි.