සීමා මායිම් හඳුනා ගෙන එකිනෙකාට වඩාත් සමීප වෙමු

ඔක්තෝබර් 13, 2021

 

ජීවිතය සුරංගනා ලොවක් තරම් සුන්දර වන්නේත් අපායක් මෙන් අසුන්දර වන්නේත් විවාහ දිවියේ එකිනෙකා අතර පවතින ආදරයේ ස්වභාවය මතය.

බොහෝ දෙනෙක් ආදර විජිතයේ කිරුළු දැරූ අලුත එකිනෙකා ගේ සතුට වෙනුවෙන් ‍නො කරන දෙයක් නැත. එහෙත් කාලයා ගේ ඇවෑමෙන් නිතර පෙනෙන කුකුළා ගේ කරමල සුදට පෙනෙනවාක් මෙන් දෙදෙනා දෙදෙනා වෙනුවෙන් කුමක් කිව්වත් කළත් එහි විශේෂයක් නො පෙනෙයි. එපමණක් නොව කරන කියන ඒවා ඇදට පෙනෙන්ට ගනියි. අද සිටින්නේත් එදා සිටි යුවළම ය. එසේ තිබියදී මෙසේ වන්නේ ඇයි ?

එක දිගටම යම් දෙයක් අත්දකින විට එය ඒකාකාරී වීම මිනිස් ස්වභාවයයි. මේ ස්වභාවය යුගදිවිය නීරස කරන නිසා එයින් අත්මිදීම ඉතා වැදගත්ය. තම තමන් ගේ සීමා මායිම් ගැන දැනුවත් වීම මඟින් බොහෝ නීරසවීම් වළක්වාගත හැකිය.

ආදරය යනු බන්ධනයකි. බැඳීමකි. එහෙත් පමණට වඩා බැඳීම ඒ සබඳතාවයේ විනාශයට හේතුවෙයි. එකිනෙකා කෙරෙහි පමණට වඩා බැඳුණු විට අනෙකා පෞද්ගලිකත්වයට බාධාවන බවක් හැඟෙන්නේ නැත. අතේ ඇඟිලි පහ එක හා සමාන නො වෙනවාක් මෙන් එකිනෙකාට වෙනස් වූ පෞරුෂත්වයක් දෙදෙනකු අතර පවතියි. ඒ බව දෙදෙනාම අවබෝධකරගත යුතුය. එබැවින් දෙදෙනාට තමන්ට නිදහසේ කාලය ගත කිරීමේ නිදහස දීමට දෙදෙනාම බැඳී සිටියි.

අනෙකා ගේ සීමාවට ඉඩදීම අවබෝධයෙන් ගෞරවයෙන් කළ යුතුය. සබඳතාවක් කියන්නේ ගනු දෙනුවකි. එකිනෙකා‍ ගේ සීමා මායිම් හඳුනා ගැනීම මඟින් ආදරය සවිමත් වෙයි. ආත්ම විශ්වාසය ගොඩ නැඟෙයි.

සීමා මායිම් ආදර සබඳතාවක සුවතාවය මනින්නට ගන්නා එක් මිම්මකි. කෙනකු තමන් ගේ සීමාවන් ට ගරු නො කරන විට අනෙකාගෙන් ද එවැන්නක් බලාපොරොත්තු විය නො හැකිය. එවැන්නකුගේ සීමාව අනෙකා ‍ආක්‍රමණය කිරීම ද අස්වාභාවික නැත. පමණට වඩා වගකීම් පැවරූ විට සීමා මායිම් නැති පුද්ගලයා සියල්ල ම භාර ගැනීමට සිදුවෙයි. එයින් වැඩි වන්නේ ආතතියයි.

දෙන්නා දෙන්නා ගේ සීමා මායිම් හඳුනා ගැනීම එකිනෙකාට වඩාත් සමීප විය හැකි හොඳම මඟකි.

විවාහ දිවියේ සීමාවන් පනවා ගත යුතු ආර්ථික, කායික, මානසික ආදී වශයෙන් විවධාකාරවූ අංශ ගණනාවක් තිබෙයි.

දෙදෙ‍නා අතරේ ඇති සීමාවන් හඳුනා ගත් විට,

 

n කේන්ති යන්නේ නැති නිසා අඬදබර අඩු වෙයි.

n සුරක්ෂිතබවක් සාමකාමී බවක් ජීවිතයට දැනෙයි.

n එකිනෙකාට ගරුත්වයක් ඇති වෙයි.

n සිතුම් පැතුම් පහසුවෙන් ඉටු වෙයි.

n දික්කසාදයට ඉඩක් නැති වෙයි.

n සන්නිවේදනය දියුණු වෙයි.

n අනොන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය වෙයි.