අහසේ හිරු සේ අම්මා නිවෙසේ

මාර්තු 13, 2019

අම්මා යනු අප සියලු දෙනාගේ ජීවිතයට මහා ආශීර්වාදයක් බව අවිවාදයෙන් පිළිගනිමු. ලෝකයට ජීවය සපයන උත්තරීතර චරිතය අපේ ජීවිතයට විවිධාකාර වශයෙන් සමීප වෙයි. අම්මා යනු දරුවන්ගේ ලෝකයට කියන තවත් නමකි. අම්මාගෙන් තොරව කුඩා කල පටන් අපට ජීවිතය ගැන සිතිය නොහැකියි.

එහෙත් වර්තමානය වන විට දරුවන් හා මව අතර පවතින ඒ අසමසම බැඳීම කෙමෙන් කෙමෙන් දුරස් වෙමින් පවතියි.

එහෙත් මේ පැමිණ තිබෙන්නේ මව සහ දරුවා අතර සම්බන්ධය හොඳීන්ම පැවැතිය යුතු කාල වකවානුවයි.

දරුවන් මවගේ අවධානයෙන් මිදීම නිසා විවිධාකාර සිදුවීම්වලට මුහුණ දේ. විශේෂයෙන් දියණියක් වශයෙන් මවගේ ආරක්ෂාව යටතේ සිටීම සහ මවට සමීප වීම අතිශයින්ම වැදගත්ය .

 

ගුරුහරුකම්

දියණියක් කුඩා කල පටන් සිය මවගේ ගුරුහරුකම් ඇතිව සමීපයේ හැදිය, වැඩිය යුතුය.

මවගෙන් හොඳ නරක දැන හඳුනාගෙන ලෝකය ජය ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය මවගේ ඇසුරින් ලබා ගත යුතුය.

එහෙත් වර්තමානයේ බොහෝ මවුවරුන්ට සිය දියණිය ගැන අවධානය යොමු කිරීමට නොහැකි වන්නේ සිය කාර්යබහුල ජීවිතය නිසා ය.

එහෙත් දියණිය සම්බන්ධයෙන් මවගේ වගකීම ජීවිතයේ සියලු තැන්හිදී එකසේ වලංගු වේ. දියණියක් කුඩා කල පටන්ම මව සමීපයෙහි සිටීම නිසා ඇයට බොහෝ අත්දැකීම් ලැබේ. සමාජය හඳුනා ගැනීමට හැකිවේ. වරදට පෙළඹීමේ ප්‍රවණතාව බෙහෙවින් අඩු වේ.

අද වන විට මෙම තත්ත්වය දැකිය නොහැකි අතර දරුවාට අවශ්‍ය ආදරය, කරුණාව සමීපභාවය ඇහුම්කම් දීම වැනි ගුණාංග මවුවරුන්ගෙන් ගිලිහී යමින් පවතී.

දියණියන් පවා මේ සම්බන්ධයෙන් වගකීම් සහගත විය යුතු ය.

සිය මව කෙතරම් කාර්යබහුල වුවත් මව සහ තමා අතර ඇති සම්බන්ධය දුරස් නොකළ යුතුය.

යහළු යෙහෙළියන් ඇසුරු කළ ද ඒ සියලු දේ පිළිබඳ මව සමග සාකච්ඡා කිරීම දියණියකගේ යුතුකම වන්නේ ය. තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම උදෙසා මවගෙන් ලබාගත යුතු ආදර්ශ එලෙසම ලබාගත යුතුය.

මෙහිදී ද මවුවරුන්ට වගකීමක් ඇත. එනම් තම දියණියන්ට ආදර්ශයක් ලබා ගත හැකි වන පරිදි තමන්ගේ චර්යා රටාව සකස් කර ගැනීමයි.

 

2019/03/13 තරුණි බලන්න.