පොලිස් පොතේ අලුත් පිටුවක් පෙරළෙයි....

ඉතිහාසයේ පළමු වරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් අට දෙනෙක්
දෙසැම්බර් 18, 2019

 

පොලිස් රාජකාරිය තරමක් අභියෝගාත්මකය. සැබැවින්ම එය රාජකාරියෙන් ඔබ්බට ගිය සේවාවකි. මේ සේවය ලබාදෙන්නේ සමාජයේ සාමය, ආරක්ෂාව හා යුක්තිය සාධාරණත්වය පසඳළීම වෙනුවෙනි.

මෙවැනි රාජකාරියක් ඉටු කිරීමේ දී ඍජුවම සිවිල් සමාජය සමඟ කටයුතු කිරීම මනා සංයමයකින් හා සංවේදීව කළයුත්තකි. මේ කටයුත්ත සඳහා කාන්තා දායකත්වය හිමිවීම සමාජ අවශ්‍යතාවකි.

එහෙත් සාධනීය වශයෙන් පොලිස් සේවය තුළ කාන්තා දායකත්වය ලබාදීම හා උසස්වීම් පිරිනැමීම අඩුවක් විය.

එම අඩුව අවම කිරීමේ අපේක්ෂාවෙන් ජාතික පොලිස් කොමිසම ඓතිහාසික පියවරක් ගැනීම ප්‍රසංශනීය කටයුත්තකි. ඒ පොලිස් ඉතිහාසයේ පළමුවරට කාන්තා නිලධාරිනියන් අට දෙනකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට පත්කිරීමය. පසුගියදා සිදුවූ මේ සිදුවීම පොලිස් පොතේ අලුත් පිටුවක් පෙරළීමකි.

අප රටේ විධිමත් ආකාරයට පොලීසිය ක්‍රියාත්මක වීම සනිටුහන් කරන්නේ 1866 සැප්තැම්බර් 03 සිටය. එදා ආරම්භ වූ පොලිස් සේවය තුළ කාන්තාවන් සඳහා අවස්ථාව හිමිවන්නේ 1953 වසරේදීය. ඉතිහාසය සටහන් තබන ආකාරයට මුල්ම පොලිස් කාන්තා නිලධාරිනිය වන්නේ සෝමා ගුණවර්ධන මහත්මියයි. එහෙත් පොලිස් ඉතිහාසය තුළ ඓතිහාසික වර්තාවක් තබන නිලධාරිනිය බවට පත්වන්නේ ප්‍රමිලා දිවාකර මහත්මියයි.

1958 වසරේදී පොලිස් කොස්තාපල්වරියක් ලෙස සේවයට එක්වන ඇය පොලිස් සේවයේ පළමු කාන්තා උප පොලිස් පරීක්ෂිකාව, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකාව ලෙස සේවය කරමින් 1994 වසරේදී පළමු කාන්තා පොලිස් අධිකාරීවරිය බවට පත්වන්නේ වාර්තා ගණනාවක් තබමිනි. ළමා හා කාන්තා කාර්යාංශයේ මුල්ම අධ්‍යක්ෂකවරිය ද වූ ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට පත්වන්නේ සේවා දිගුවක් සමඟිනි.

නිසි තැන වෙනුවට සමතැන ලබාගැනීමේ ඇය කළ සටනින් ප්‍රතිඵල හිමිවන්නේ ඉන් බොහෝ කලකට පසුවය. පොලිස් කොමිසම පිහිටුවීමත් සමඟම ඒ සියලු බාධක බිඳ වැටෙමින් කාන්තා නිලධාරීනියන් අට දෙනකුට එම අවස්ථාව හිමිවුණේ අප රටේ කාන්තාවන් වෙනුවෙන් සමතැන ලැබීමේ ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි.

 

2019/12/18 තරුණි බලන්න........