කඩදාසි නිර්මාණය කියන්නේ කලාවක් මෙය වෙනමි ලෝකයක්

Made in Sri Lanka සිහිනය සැබෑ කරගත් මධුර...
ඔක්තෝබර් 14, 2020

කඩදාසි පැළ කිරීමේ කතාවේ ඇත්ත නැත්ත සොයා ගියෙමු

පැළවෙන කොළ, පැළවෙන පැන්සල් ගැන මුලින්ම දැනගත් දිනයේ මගේ සිත විමතියට පත් විය. අක්කපාන වැනි ශාකවල කොළ පැළවෙතත් කඩදාසි කොළ පැළවෙන කතාවක් මම කෙදිනක හෝ අසා නොතිබුණි.

එය සුරංගනා කතාවක ඇති පාවෙන වංගෙඩියක්, කතා කරන සත්තු, කතා කරන ගංගාවන් ගැන ඇති කරන හැඟීම් දැනවී ය. මේ පැළවෙන කොළ පිළිබඳ විමතිය, කරුණු දැනගැනීමේ කුහුල මට පමණක් ඇති වූවක් නොවේ. මේ කොළ ගැන අසන කාට වුවද ඇති වන්නකි.

මේ කුතුහලය නිසාම පැළවෙන කොළ ගැන සොයා බලන්නට, එහි නිමැවුම්කරු හමු වී කතාබහ කරන්නට ඔහු සොයා ගියෙමි. මට ඔහු හමු වූයේ දකුණු ලකේ අගනගරේ හික්කඩුව ප්‍රදේශයේ දී ය. ඔහු නමින් මධුර නානායක්කාර ය. මේ අරුම පුදුම කතාව ඔහුගෙන් දැනගන්නා තෙක් මට ඉවසිලි නැත.

*මේ වගේ දෙයක් කරන්න ඔබට මුලින් ම අදහසක් පහළ වුණේ කොහොමද?

මම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. මේ දේවල්වලට මට පසුබිම සැකසෙන්නේ එතැනින්. මට පාසල් කාලයේ දීම අදහසක් ආවා අපේ රටේ තිබෙන සම්පත්වලින් දුර්ලභ නිෂ්පාදනයක් කරලා ඒකට ර්චඤඥ ඪද ඉපඪ ඹ්චදඬච ලේබලය ගහලා විදෙස් රටවලට යවන්න තිබුණා නම් හොඳයි කියලා. මම උසස් පෙළ කළේ කලා විෂය ධාරාවෙන්. පාසල් කාලෙන් පස්සේ වෘත්තීය අධ්‍යාපනයක් ලබා ගන්න ඕන වෙනවනේ. ඒ අතරත් මම මොනවා හරි දෙයක් කරන්න පටන්ගත යුතුයි, මම මොනවා හරි ලංකාවේ හදන්න ඕන. ඒක පිටරටකට යවන්න ඕන කියන අදහස තිබුණා.

පුවත්පත් දැන්වීමක ජාතික තරුණසේවා සභාවේ නිස්කෝ වීඩියෝ ඒකකයේ වීඩියෝ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන හා වීඩියෝ තාක්ෂණ පාඨමාලාව ගැන සඳහන් වුණා. මම එයට ඉල්ලුම් කළා. එහි සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙලා පාඨමාලාවට ඇතුළු වුණා. මේ පාඨමාලාවෙන් අපි මාස හයක පුහුණු කාලයකට ආයතනවලට අනුයුක්ත කළා. මට ලැබුණේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනය.

එහි මාධ්‍ය ඒකකයේ පුහුණුවෙන අතර මට ගුරුවරයෙක් මුණ ගැහෙනවා. ඔහු විශ්‍රාමික අධ්‍යාපන නිලධාරියෙක්. බාහිර සම්පත් දායකයෙක් විදියට ආයතනයේ වැඩ කළා. ඔහු මාත් එක්ක කතාබහ කරන විට කඩදාසි හදන්න දන්න බව කිව්වා. මම විස්තර ඇහුවම අවුරුදු ගණනකට කලින් සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ දී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ වෘත්තීය අධ්‍යපනය සඳහා යොමුවිය හැකි විෂයක් ප්‍රාග්කෘතික විද්‍යාව ලෙස පැවැති බව පැවසුවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පුහුණු වීම් සඳහා විදෙස් රටවලට යවා තිබෙනවා. මැටි කර්මාන්තය, හණ කර්මාන්තය, ලෙදර් කර්මාන්තය, කඩදාසි කර්මාන්තය ආදී කර්මාන්ත ගැන දැනුම ලබා ගැනීමට.

මගේ ගුරුවරයාට යන්න ලැබිලා තියෙන්නේ කඩදාසි කර්මාන්තය ගැන ඉගෙන ගන්න ඉන්දියාවේ පොන්ඩිචෙරි කියන ප්‍රදේශයට. ඒ ප්‍රදේශයේ සෑම නිවෙසකම වගේ ගෘහ කර්මාන්තයක් විදියට කඩදාසි නිෂ්පාදනය කරනවා. මෙහි අවුරුදු දෙකක පමණ කාලයක් නැවතී කඩදාසි නිපදවන ආකාරය වගේම ඒ සඳහා උපයෝගී කරගන්නා උපකරණ, යන්ත්‍ර සූත්‍ර සාදන ආකාරයත් ඔහු ඉගෙනගෙන තිබුණා. මේ දේවල් ඉගෙනගෙන ලංකාවට එනකොට ආණ්ඩු පෙරළිලා විවෘත ආර්ථිකය සමඟ අධ්‍යාපනයේ පවා වෙනස්කම් සිදුවෙලා නිසා ඔවුන් ලබා ගත් දැනුම වැඩක් වෙලා නැහැ. ඔවුන් සමඟම ඒ දැනුම තිබුණත් විශ්‍රාමික වයස පැමිණීම නිසා ඔවුන් රැකියාවලින් විශ්‍රාම ගෙන තිබුණා.

 

2020/10/14 තරුණි පුවත්පත බලන්න.