රැල්ලක් බවට පත්වී ඇති ඔන්ලයන් බිස්නස් එකක් කරමු

මාර්තු 10, 2021

 

ඌන සංවර්ධිත රටවල් බොහොමයක දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ අතුරින් එකක් වන්නේ විරැකියාව සහ දරිද්‍රතාවයයි. මේ සඳහා බලපාන සාධක කිහිපයකි.

පාලනයේ අකාර්යක්ෂමතාව, නිලධාරිවාදය සහ ඒ ආශ්‍රිතව බැදුණු දූෂණය සහ නාස්තිය, ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ඵලදායි ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම, රාජ්‍ය සම්පත් රටපුරා සමාන ලෙස බෙදී නොයාම ආදිය රාජ්‍ය යාන්ත්‍රණය අංශයෙන් පෙන්වා දීමට පුළුවන.

පුරවැසියන් ගේ පාර්ශ්වයෙන් මෙයට වඩා විනාශකාරි ලක්ෂණ දක්නට ලැබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි සුබසාධන රාජ්‍යයන්හි, ‘සියල්ල රජය සැපයිය යුතුය’ යන පසුගාමී ආකල්පය, රජයේ රැකියාවන් වෙත දක්වන දැඩි ලෝලීත්වය (මෙය විශ්‍රාම වැටුප සමඟ තදින් බද්ධව පවතී) අවදානමක් දැරීමට ඇති අකැමැත්ත, ලෝකයේ නව ප්‍රවණතා පිළිබඳ අනවබෝධය, වෘත්තීය පුහුණු වෙතට යොමුවීම අවමවීම, කුසලතා පිළිබඳ අවබෝධයක් නොවීම සහ ඒවා වර්ධනය කිරීමට කටයුතු නොකිරීම අලසකම සහ දුර්මුඛතාව, මන්දෝත්සාහී ස්වභාවය කැපී පෙනේ.

රටේ සමස්ත ප්‍රජාව වෙතම රජයේ රැකියා ලබාදීම සුපිරි සංවර්ධිත රාජ්‍යයකට වුවද හැකියාවක් නැත. සියලු දෙනාම පාහේ රජයේ රැකියා පිළිබඳ සිහින දකිමින් පසුවීම ලංකාවේ සංවර්ධනයට තීරණාත්මක ලෙසින් බලපා තිබේ. පුද්ගලික අංශයේ රැකියාවකට යොමු වන්නේ විකල්පයක් නැති බැවින් විනා එයට ආදරයෙන් නොවේ. උසස් පෙළ සමත් බොහෝ දෙනා සාමාන්‍ය රැකියාවකට යාමට මැළිකමක් දක්වන්නේ මධ්‍යම පාන්තික හීනමානය හේතුවෙනි. ඒ හැර කළහැකි ව්‍යාපාර කොතෙකුත් තිබේ. එහිදී ලෝකයේ නව රැල්ල බවට පත් වී තිබෙන්නේ ‘ර්‍ණදතඪදඥ ඡභඵඪදඥඵඵ’ ය. බොහෝ දෙනා නමින් දන්නා; යාන්ත්‍රණය නොදන්නා ඔන්ලයින් බිස්නස් ගැන කතා කරන්නට, එමඟින් අපනයන වෙළෙඳාමටද පිවිස සිටින සාර්ථක තරුණ ව්‍යවසායිකාවක් සම්බන්ධ කර ගතිමු. ඇය කාන්තා පුවත්පත් පාඨකයනට ආගන්තුක නැත.

ප්‍රවීණ අත්කම් ශිල්පිනියක්, රූපලාවණ්‍ය ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් මෙන්ම වෘත්තීය උපදේශිකාවක් ද වන නිම්මි අරලිය මාපිටියගේ ඔබ වෙනුවෙන් ම ඉදිරිපත්ව හිඳී.

 

* නිම්මි අපිට කියන්නකො, මොකක් ද මේ ඔන්ලයින් බිස්නස්?

“මෙතැනදි මුලින් ම කුඩා ව්‍යාපාර කියන සංකල්පය ගැන කතාකරන්න වෙනවා. කවර රටක වුණත් ආර්ථික ප්‍රගමනයට මූලිකවම ඉවහල් වන අංගයක් තමයි කුඩා ව්‍යාපාර. මෙය රැකියා වියුක්තිය, දරිද්‍රතාව, සමාජයීය ගැටලු බොහොමයකට සාර්ථක විසඳුම් ලබා දිය හැකි ක්ෂේත්‍රයක්. මෙමඟින් රටක දළ ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන්නට පුළුවන්.”

* කුඩා ව්‍යාපාර, ස්වයං රැකියා.... මේවා අපේ රටේ බොහොම ජනප්‍රිය මාතෘකා. නමුත් අසාර්ථකයිනෙ?

“ඒ සඳහා කරුණු කීපයක් බලපා තියෙනවා. ව්‍යවසායිකාවක් ලෙස එය මම නිරීක්ෂණය කර තිබෙන දෙයක්. ඒවා නම්,

*වෙන කළ හැකි දෙයක් නොමැති නිසා යොමුවීම

*වෙනත් අයෙකුගේ සාර්ථකත්වය දැක එයම අනුකරණය කිරීම*නිසි පුහුණුවක් නොමැතිවීම

* නව ව්‍යාපාරික ප්‍රවණතා පිළිබඳ අනවබෝධය

* ස්වයං රැකියාවකට යොමු වුවද අලෙවිය සඳහා දැඩි කැපවීමක් නොමැතිවීම

* පසුගාමී ආකල්ප සහ හීනමානය

ආදී කරුණු මූලිකව පෙන්වා දෙන්නට පුළුවන්.”

“හැම ආණ්ඩුවක්ම වගේ මේ සඳහා නොයෙකුත් ව්‍යාපෘති හඳුන්වා දෙනවා නේද?

“අනිවාර්යයෙන්ම. නමුත් ඒවා පූර්ව සහ පශ්චාත් මැතිවරණ උණුසුමට සීමා වෙන බවක් තමයි මම දකින්නෙ. නිසි පුහුණුවක්, අභිප්‍රේරණයක් සහ අඛණ්ඩ පසුවිපරමක් නොමැතිව කරන මෙවැනි ව්‍යාපෘති සැබැවින් ම අසාර්ථකයි. අවසානයේ දී සිදුවෙන්නේ ඒ සඳහා යොමුවන බහුතරය බැංකු ණයකරුවන් වීම පමණයි.”

* ආණ්ඩුවල කැපවීම මදි කියලද ඔබ කියන්නෙ?

“එහෙමම නෙවෙයි. නමුත් ඒවා මැතිවරණ සමයන්ට පමණක් සීමා නොවිය යුතුයි. ව්‍යාපාරය ස්ථාවර වනතුරුම පසුවිපරම සහ අත්වැල සැපිය යුතුයි. අපි මෙහෙම හිතමු... මෙවැනි ස්වයං රැකියා යෝජනා ක්‍රම සඳහා ප්‍රචාරක වියදම පමණක් රුපියල් කෝටි ගණනක්. ඒ මුදල එම ව්‍යවසායකයන් ගේ නිෂ්පාදන අමුද්‍රව්‍ය සඳහා බදු සහන ලබා දීමට, නිෂ්පාදන සඳහා අලෙවිසල් ස්ථාපනය කිරීම ආදියට ඵලදායි විදිහට යොදවන්නට පුළුවන්. ඒ වගේම තමයි මෙම ව්‍යාපෘතිවල නිෂ්පාදන විවිධාංගීකරණයක් නැහැ. වැඩි දෙනෙක් එකම දේ කරන්නට යාම තුළින් සියලු දෙනාම පාහේ අසාර්ථක වෙනවා. දැඩි කැපවීමකින් ඉවසීමකින් අල්ලා ගෙන ඉන්න කිහිප දෙනෙක් පමණක් අභියෝග ජයගන්නවා.

* හොඳයි මේ සියලු දේට ඔන්ලයින් බිස්නස් විසඳුමක්ද?

“මෙහෙමයි, ඔන්ලයින් බිස්නස් කියන්නෙ නව ප්‍රවණතාවක්. ලෝකය පුරා විසිරුණු ගැනුම්කරුවන් වෙත තම නිෂ්පාදන අලෙවි කළ හැකි සාර්ථක ක්‍රමවේදයක්. නිවෙසේ සිටම කළ හැකියි. නමුත් තරගකාරී වෙළෙඳපොළ හමුවේ ඔබගේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය උසස් විය යුතු වගේම ඉදිරිපත් කිරීම ආකර්ෂණීය විය යුතුයි. ඒවගේම ඔබගේ මිල සාධාරණයි නම්, නිසි කලට ඇණවුම් ලබා දෙනවා නම් සාර්ථකවීම අපහසු කරුණක් නොවෙයි. හරි අපූරු ඉංග්‍රීසි කියමනක් තිබෙනවා,

“Do what you love”


(ඔබ කැමැති, ආදරය කරන දෙය කරන්න)

මේ කියමන මම කලින් කියපු ‘අනුකරණය කිරීම’ කියන කාරණාවට සම්බන්ධයි. එතැනදී ‘ඔබ කැමැති, ආදරය කරන’ දේ නැහැ. තමන් කරන කවර ව්‍යාපාරයක් වුණත් කැමැත්තෙන්, ආදරයෙන් කරන්න ඕනෙ. එතකොට එය විනෝදාංශයක් බවට පත් වෙනවා. එහෙම වුණාම ව්‍යාපාරය වැදගත් නෙවෙයි සතුටක් වෙනවා.”

මෙම මාතෘකාව නොසිතූ මානයකට ඇදී ගියේ නොසිතූ අයුරිනි. තව කතා කළ යුතු දෑ බොහෝය. එක්වන්න ලබන සතියේදීත් ඔබගේ ආදරණීය ‘තරුණී’ සමඟ.

උපදෙස් - වෘත්තීය පුහුණු උපදේශිකා,

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

නිම්මි අරලියා