ඉය(ර්) එන්ඩ් රිවීව් එකක් කරමු

දෙසැම්බර් 26, 2018

මෙතරම් ඉක්මනට වසරක් ගෙවී ගියාදැයි සිතන ඔබ, විටෙක ඒ පිළිබඳ පුදුම වේ. එහෙත් කාලය පියාඹන්නේ විදුලි වේගයෙනි. ඒ වේගයට ඔබේ ගමන කොහොමදැයි වසර අවසානයේ දී මැන බැලුවාද?

දිරියෙන් ඉදිරියට යමින් දියුණු වෙන්නට, සාර්ථකවන්නට සිතන අයෙක් වේ නම් ගෙවුණු වසර තුළ තමන්ගේ ප්‍රගතිය කොහොමදැයි මැන බැලිය යුතුමයි. අපි මේ වසර පුරාවටම ඔබේ සාර්ථකත්වය වෙනුවෙන් කළ යුතු බොහෝ දේවල් පැහැදිලි කරදුන්නෙමු. සාර්ථකත්වය කරා යන පාර පෙන්වූයෙමු. ඉදින් ඒවා සිතට ගෙන ක්‍රියාත්මක කළා නම් දැන් ඔබ සාර්ථක වී සිටිය යුතුයි. එය මහා ලොකු සාර්ථකත්වයක් නොවූවාට කම් නැත.

ව්‍යාපාර සමාලෝචන

ලාභ අරමුණු කරගත් හෝ නොගත් ඕනෑම ආයතනයක් වසර අවසානයේ තමන් අත්කරගෙන ඇති ප්‍රගතියේ තරම මැන බලයි. විශේෂයෙන්ම මෙය දියුණු ව්‍යාපාරවල අනිවාර්යයෙන්ම සිදුවන්නකි. ව්‍යාපාරයේ ප්‍රගතිය මැන බලන අතරම සේවකයන්ගේ ප්‍රගතිය ද මැන බලයි. මෙහිදී වර්ධනය කළයුතු අගනාකම්, වර්ධනය අඩාල වී ඇති පැති, වැඩියෙන් දියුණු වී ඇති අංශ, අවධානය යොමු කළ යතු කරුණු, වැඩියෙන් පාරිභෝගික ආකර්ෂණය දිනාගත් සේවය හෝ භාණ්ඩය, පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කළේ මොනවාද? විකුණුම් අඩාල වී ඇත්තේ මොනවායේද? දැන්වීම් සාර්ථක වුණාද? අලුතින් ප්‍රමෝට් කළ යුත්තේ කෙසේද? ඒ මොනවාද? ආදී බොහොමයක් දේ ව්‍යාපාරයක දී මැන බලයි. එම විමසුම ඉදිරි වසර සාර්ථක කරගන්නට මඟ පෙන්වයි. එසේ නො කළොත් තමන්ටත් නො දැනීම තම ව්‍යාපාරය බංකොළොත් විය හැකියි. ඒ නිසා ඔබත් ව්‍යාපාරයක් කරන අයෙක් නම් මෙම කරුණු අනුව වසර අවසානයේ ප්‍රගති සමාලෝචනයක් කිරීම ඔබේ ව්‍යාපාරයේ දියුණුවට හේතු වේ.

ඉය(ර්) එන්ඩ් රිවීව් ලෙසින් හඳුන්වන මෙය පෞද්ගලික ජීවිතයටත් අනිවාර්යයෙන්ම තිබිය යුතු දෙයකි. මෙලෙස ආපසු හැරී විවරණයක

යෙදෙන විට වසර ආරම්භයේ ඔබ අපේක්ෂා කළ අරමුණු ඉටුවී ඇත්දැයි නිශ්චිතවම දැනගත හැකියි.

වසර ආරම්භයේ සිතට ගත් අරමුණු පොතක සටහන්කර තැබුවා නම් මෙය වඩාත් පහසු වේ. එසේ නැතත් ආපසු හැරී මතකයට නඟමින් හෝ එවැන්නක් ඔබ කළ යුතුමයි. එමඟින් ඔබේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිළිබඳ නිගමනයකට පැමිණිය හැකියි.

ඔබේ ජීවිතය පිළිබඳ විවරණයක් කරන්නට පළමුවැ පොතක් අතට ගෙන නිසසල තැනකට යන්න. නිසලව හිඳිමින් ඔබ ගැන මතක ආපස්සට අවධි කරන්න. එසේ අවදි කළ මතකය අනුව යමින් පහත ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන්න.

ගෙවුණු වසරේ ඔබ ලබාගත් විශාලතම ජයග්‍රහණය කුමක් ද?

එකිනෙකා සාර්ථකත්වය දකින්නේ තම තමන්ටම ආවේණික අයුරිනි. ඒ නිසා තමන් වසර මුල අපේක්ෂා කළ ලොකුම අරමුණ ඉටු වී ඇත්දැයි බලන්න.

සමහර විට ඔබ අපේක්ෂා කළේ දරුවකු ලැබීම විය හැකියි. එසේත් නැතිනම්, උපාධියක් ලැබීම, රැකියාවක් ලැබීම, රැකියාවේ උසස්වීමක් ලැබීම, අලුත් රැකියාවකට මාරුවීම, අලුත් මිතුරු මිතුරියන් ඇතිකර ගැනීම, විවාහ වීම, අලුත් සබඳතාවක් ගොඩනගා ගැනීම ආදී ඒවායින් ඕනෑම එකක් විය හැකියි. නැතිනම් එය වෙනත් ජයග්‍රහණයක් විය හැකියි. ඒ අනුව ඔබ අරමුණු කරගත් දේ ඉටුවෙලාද? නැතිනම් වෙනත් ජයග්‍රහණයක් හිමි වුණා දැයි සටහන් කරගන්න.

ඉගෙනගත් පාඩම් මොනවාද?

වසරක් යනු දවස් 365 කි. ඒ කාලය තුළ ජීවිතයට අලුත් දේවල් පැමිණිය හැකිවාක් මෙන්ම තිබුණු දේවල් නැතීවී යාමට ද හැකියි. ඔබ සාර්ථකත්වය කරා යන ගමනේ දී ඔබ ඇසුරු කරන අයගෙන්, ඔබ උත්සාහ ගත් දේවලින් විවිධ පාඩම් ඔබේ ජීවිතයට එක් වේ. ඔබ දුකට, කණගාටුවට පත් වුණාද? ඔබ විශ්වාස කළ දෙයක් පිළිබඳ විශ්වාසය බිඳ වැටුණා ද? ඔබ ළඟම සිටි අය ඔබව අතැර ගියාද? ඔබ සතුව තිබූ මිල මුදල් වත්කම් නිකරුණේ නාස්ති වී ගියාද? නැතිනම් ඒවා තවත් වර්ධනය වූවාද ලෙසින් විවිධාකාර දේ හොඳම පාඩම් ලෙසින් ජීවිතයට එක් වී තිබේදැයි විමසා බලන්න.

අලුත් දැනුම ලැබුවාද?

සාර්ථකත්වයට පත්වන්නට සිතනවා නම් ඔබ, ඔබේ කුසලතා මෙන්ම දැනුම ද අලුත් කරගත යුතුයි. ඉංග්‍රීසි භාෂා කුසලතා, පරිගණක කුසලතා, ක්‍රීඩා කුසලතා, ඉගෙනුම් කුසලතා ආදියෙන් ඕනෑම එකක් විය හැකියි. එපමණක් නොව ඔබට උයන්න, පිහන්න බැරි නම් අඩුම තරමේ ඒ පිළිබඳ දැනුමක්වත් හිමි කරගත්තා ද? මහන්න, ගොතන්න, කේක් හදන්න, අත්කම් ආදී විවිධ දේ පිළිබඳ දැනුම ජීවිතයට බෙහෙවින්ම වටී.

වටිනාකම්, අගනාකම් මොනවාද?

සාර්ථකත්වය කරා යන ගමනේ දී ඔබේ ජීවිතයට එකතු විය යුතු අගනාකම් හා වටිනාකම් බොහෝය. එහෙත් අද දවසේ දී මිනිසුන් වෙතින් ඈත්ව යන්නේ ද වටිනාකම් සහ අගනාකම්ය. හොඳ ගුණදම් නැතුව, මිනිසත්කම් නැතුව සාර්ථක වන පුද්ගලයන් වෙතින් අපේක්ෂා කළ හැකි දෙයක් තියෙනවාද? ඔබ මිල මුදල් වත්පොහොසත්කම්, කීර්ති, නම්බුනාම ආදිය ලබද්දී, ඔබේ මාපියන් කන්නට දෙයක් නැතිව, අඳින්නට දෙයක් නැතිව මහ මඟ හිඟමනේ යයි නම්, මහලු නිවාසවලට වී හූල්ලමින් බලාහිඳී නම් ඔබේ සාර්ථකත්වයෙන් ඇති ඵලය කිමදැයි මඳකට සිතා බලන්න. ඔබේ දූදරුවන් නොමඟ ගිහින් නම්, මත්පැන් හා මත්ද්‍රව්‍ය වෙත නැඹුරු වී හිඳී නම් ඔබ වෙහෙස වී උපයාගත් ධනයෙන් ඵලක් තිබේද? ඒ නිසා එළැඹෙන වසරේ දී ඔබ ජීවිතය මිල මුදලින් සාර්ථක කරගන්නා අතරම වටිනාකම් සහ අගනාකම්වලින් ද ඔපලා ගන්න.

ඉදිරි වසරට සැලසුම්

මේ වසරේ ඔබ කළ ප්‍රගති සමාලෝචනය තුළින් ඉදිරි වසර පිළිබඳ සැලසුමක් හදන්න. සාර්ථක ජීවිතයකට පියවර තබන්නට නම් අනිවාර්යයෙන් සැලසුමක් තිබිය යුතුමයි. ඔබට මේ වසරේ ඉටුකරගන්නට නොහැකි වුණු අරමුණු ඉදිරි වසරේ දී හෝ ඉටුකරගන්නට හිතනවා නම් එම අරමුණුවලට මූලිකත්වය දෙන්න. ඇතිකරගත යුතු කුසලතා, වටිනාකම් ආදියට මුල් තැනක් දී ඒවා ලබාගැනීමට කැපවී කටයුතු කරන්න. ඔබේ සැලසුමේ ඔබේ අරමුණු, ලබාගත යුතු ජයග්‍රහණ, ඒ වෙනුවෙන් කළ යුතු දේවල්, පසුගිය වසරේ දී ඔබට වැරදුණු තැන්, ඔබ අහිමි කරගත් දේවල්, ඔබ යාමට අපේක්ෂා කරන තැන ආදිය සඳහන් කරගන්න.

මෙතෙක් කල් ජීවත් වූවාට ඔබ ජීවිතය පිළිබඳ සැලසුම් සකස් කළේ නැත්ද? නැතිනම් ඒ ගැන සිතුවේ නැත්ද? එසේ නම් අදම ගෙවී ගිය මේ වසර පිළිබඳ සරල සමාලෝචනයක් කර එළැඹෙන ඉදිරි වසර පිළිබඳ සැලසුමක් සකස් කරන්න. මෙම සැලසුම පාසල් දරුවකුට, ගෘහණියකට, රැකියාවක නියුතු අයකුට, විශ්වවිද්‍යාල සිසුන්ට ආදී ඕනෑම පුද්ගලයකුට එක සේ වැදගත් වේ.

කෙටියෙන්ම කියනවා නම් කුමන අංශයකින් හෝ සාර්ථකත්වය ළඟා කරගැනීමට අපේක්ෂා කරන ඕනෑම අයකුට ගෙවුණු වසර පිළිබඳ සමාලෝචනයක් ඉදිරි වසර පිළිබඳ සකසන සැලසුමත් බෙහෙවින්ම වටී. එය ඔබේ ජීවිතයේ අලුත් පිටුවත් පෙරලනු නියතය.