ඔබ කවුද කියලා සොයන්නේ නැතුව සිහින දකින පුද්ගලයා සොයන්න

ජනවාරි 2, 2019

වසරක් ගෙවී තවත් නැවුම් වසරක් උදා වුණා. මේ අලුත් අවුරුද්දේ නැවුම් පැතුම් සමඟ ඔබත් අලුත් දිවියක් ආරම්භ කරන්න සිතට දිරි ගන්න. අපේ ජීවිත ජීවත් කරවන්නේ බලාපොරොත්තුය. ඒ නිසාම අපේ සිත්වල අලුත් බලාපොරොත්තු, ප‍‍්‍රාර්ථනාවන් ඇති කරගත යුතුයි.

ගෙවුණු වසරේ ඉටු කරගන්නට නොහැකි වූ දෙයක් අලුත් අරමුණක් ලෙස සිතට එකතුකර ගන්න.

තරගකාරී ජීවන රටාවත් සමඟ බොහෝ අය නිරන්තරවම කාර්යබහුලය. ජීවිතය දෙස ආපසු හැරී බලන්නටවත් විවේකයක් නැතුව දුවන මේ මිනිසුන් ට අවසන කිසිත් ඉතිරි වී නො තිබෙන්නට පුළුවනි. සමහර අය ජීවතේ අවසන් කාලයට පැමැණි පසු කිසිත් කරගන්නට නො හැකිව ළතැවෙමින් ජීවිතය දෙස ආපසු හැරී බලති. එසේ හැරී බලන මිනිසුන්ගෙන් බහුතරයක් තම ගෙවුණු ජීතය පිළිබඳ තෘප්තිමත් නැත. ඔවුන් තම ජීවිතය පිළිබඳ කතාකරන්නේ අතෘප්තිමත් හැඟීමෙනි. සමහරෙක් පසුතැවිලි වෙති. තවත් අයෙක් හඬමින් දුක් වෙති. ඒ අතර ගෙවුණු ජීවිතයට වෛර කරන ඇත්තෝ ද වෙති. තම ජීවිතයේ අවසාන කාලයේ දී ගෙවුණු දිවිය පිළිබඳ තෘප්තිමත්ව කතා කරනවා නම් ඒ සුළුතරයකි.

මහලු නිවාසවල දිවි ගෙවන අය සමඟ හෝ වෙනත් වැඩිහිටියකු සමඟ කතා කරන්නට අවස්ථාව ලැබුණෝතින් ඔබට මේ සත්‍යත් යථාර්ථයත් වටහාගත හැකි වේවි.

කාලයක් නැහැ

මෙලෙස අතෘප්තිමත් වී හිඳීන්නේ තම ජීවිතය නිවැරැදිව සැලසුම් කරගන්නට අපොහොසත් වූවන් වේ. එමෙන්ම ඔවුන් තම යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු කළා දැයි යන පැනය ද ඉතිරි විය හැකියි. මේ අයගෙන් බහුතරයක් පවසන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට, ඒ ගැන හිතන්නට තමන්ට කාලයක් නොතිබූ බවකි.

එහෙත් එය නම් අසත්‍යයකි. අප ඒ පිළිබඳ ටිකක් හෝ සිතුවා නම් ඒ ගැන හිතන්නට කාලයක් වෙන්කර ගන්නට අපට හැකියි. ඒ මන්දයත් සාර්ථකත්වය පිළිබඳ සිතන පුද්ගලයන්ට අනෙක් දේවල්වලට වඩා තමන්ගේ ජීවිතය පිළිබඳ සිතන්නට වෙලාවක් ඇත. ඒ වෙලාව වෙන්කරගන්නට ඔවුහු සූක්ෂම වෙති. ඒ නිසාම අද දවසේ දී ඔබ, ඔබේ ජීවිතයේ අරමුණ හඳුනාගෙන ඒ අරමුණ ඉටුකරගැනීමට නිසි සැලසුමක් සකස්කර ගත යුතුයි. ඔබ ජීවිතය කොතැනින් ආරම්භ කළත් වැදගත් වෙන්නේ ඔබ ජීවිතය අවසන් කරන තැනයි. එය ඔබ නිරන්තරවම සිහි තබාගත යුතු දෙයකි.

ජීවිතේ ගැන හිතන්න

සමහර මිනිසුන් පවසන්නේ “මම මේ දක්වා හොඳ දෙයක් කළේ නැහැ. ඇයි ඉතිං දැන් මම ඒ දේවල් ගැන හිතන්නේ. මෙච්චර කල් මගේ ජීවිතේ ගැන හිතුවෙ නැති එකේ දැන් ඒ ගැන හිතලා වැඩක් තියෙනවාද? දැන් ඇයි මම හොඳ දේවල් කරන්න හිතන්නේ.” මෙහෙම හිතන එක දුර්වලයන්ගේ මානසිකත්වයක්. ඔබ නො සිතුවාට ජීවිතය පටන් ගන්න ඕනෙම වෙලාවක පුළුවනි. ඔබ මේ දක්වා වෙලාවක් තිබුණෙ නැහැ කියලා දැන් පසුතැවිලි වෙන්න උවමනා නැහැ. එසේ පසුතැවිලි වෙනවා වෙනුවට මේ දැන්, මේ වෙලාවේ හිතන්න පුළුවන් මම දැන් කුමක් ද කරන්න ඕනේ කියන දේ. එහෙම නැතුව පසුතැවිලිවෙනවා නම් එහෙමත් නැත්නම් ඒ ගැන හිතන්නේ නැතුව ඉන්නවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඔබ දැනටමත් ඔබේ ජීවිතය අත්හැරලා කියලයි. ඉතිං ඇයි ඔබ නිකරුණේ ජීවිතය අතහරින්නේ.

ගෙවුණු දවස අත්හරින්න

ඊයේ ඔබට කරන්න බැරිවුණු දේවල් ගැන කරදර වෙන්න එපා. ඒක ගැටලුවක් කරගන්න එපා. මේ මොහොතේ ඔබේ ජීවිතය වෙනස් කරන්නට බලයක් ඔබට තියෙනවා. ඔබට දැන් සම්පූර්ණයෙන්ම අලුත් දිශාවකින් අලුත් මානයකින් ඔබේ ජීවිතය ආරම්භ කරන්න පුළුවන්.

ඒ නිසා ගෙවුණු අවුරුද්දේ නො කළ දේවල් ගැන සිත සිතා ඉන්නේ නැතුව මේ අවුරුද්දේ කළ හැකි දේවල් කරන්නට හිතට දිරිගන්න. අලුත් දෙයක් ආරම්භ කර ඔබේ ජීවිතය ජයග‍‍්‍රහණය කරා ගෙන යන්න ඔබ තවමත් පරක්කු නැහැ. ඔබ ජීවිතය ගත කළ යුත්තේ කෙසේද? ඔබට ජීවිතය ගත කරන්න අවශ්‍ය වන්නේ කුමන විදිහට ද කියන දේවල් තීරණය කළ යුත්තේ ඔබයි. මට පුළුවන් වෙන්නේ මේ දේවල් ඔබට කළ හැකියි, ඔබ තවමත් ප‍‍්‍රමාද නැහැ කියලා පෙන්වා දෙන්න විතරයි. ඒ හින්දා මේ ලියන දේවල් කියවලා අමතක කරන්නේ නැතුව ඒ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඒ මඟින් ඔබත් අලුත් ගමනක් ආරම්භ කරලා ජීවිතය ජයග‍‍්‍රහණය කරා රැගෙන යන්න.

සීමාව බිඳින්න

අප අතර හිඳීන බොහොමයක් දෙනා ගතකරන්නේ සීමා වුණු, කොටු වුණු ජීවිතයි. ඒ කොටුවෙන් සීමාවෙන් පිට පැනලා යන්න හිතන්නේ නැහැ. හිතනවා නම් ඒ කලාතුරකින් එක්කෙනෙක් තමයි. ඒ වගේම බොහෝ අය ජීවිතය ගත කරන්න හිතන්නේ ලේසි මාර්ගවලින්. අලුත් මඟක යන්න ඒ ගැන හිතන්න කම්මැළියි. බොහොමයක් දෙනාට බලාපොරොත්තු නැහැ. අලුත් මඟක යන්න කැමැත්තක් ඇත්තේ ම නැහැ. මේ අලුත් අවුරුද්දේ ඔබ ගැනත් හිතලා බලන්න, ඔබත් එහෙම කෙනෙක් ද කියලා. සාමාන්‍ය ජීවිතයක් ගත කිරීම අපහසු නැහැ. ඒත් ත‍‍්‍රාසජනක අභියෝගවලින් පිරුණු දිවියක් ගෙවීම සාමාන්‍ය දෙයක් වෙන්නේ නැහැ. එහෙම ජීවත් වීම අපහසු වෙන්න පුළුවන්. ඒත් ප‍‍්‍රතිඵලය වෙනස්. අභියෝගයකින් ලැබෙන ජයග‍‍්‍රහණය බොහොම වටිනා දෙයක්. ඒක නිකම්ම ලැබුණ දෙයක් නෙමේ. ඒ නිසා එහි වටිනාකමත් මිල කරන්න බැහැ.

බියසුළු ද නිර්භීත ද

මියයන පුද්ගලයන් අතරින් දහස් ගණනක් තියෙන්නේ බියසුළු මරණයි. ඒත් නිර්භීත මරණ තිබිය හැක්කේ එකක් පමණයි. සාර්ථකත්ව කියන දේත් ඒ වගේ තමයි. දහස් ගණනක් අතරින් උඩුගං බලා ගිහින් ජීවිතය වෙනස් කරගෙන සාර්ථකත්වය අත්කර ගන්නේ දහස් ගණනක් අතරින් එක්කෙනෙක් පමණයි. ඔබ විය යුත්තේ ඒ එක්කෙනා වීමයි. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ ඔබේ ජීවිතය අලුතින් ආරම්භ කරන්න. ඒ සඳහා පියවර තබන්න. ඔබ ඔබේ ජීවිතයෙන් වටිනා දෙයක් ඉල්ලන්න. ඒවා වැඩිවැඩියෙන් ඉල්ලන දවස අද දවස කරගන්න. හෙටට කල් දාන්න එපා.

“මම මගේ ජීවිතය ඉහළටම ගෙනයනවා” යැයි හිතන්න. මම නවතින්නේ මගේ ජීවිතයේ ජයග‍‍්‍රහණය හිමිවූ පසුව යැයි සිතට දිරිගන්න. “මගේ ජයග‍‍්‍රහණය නවත්වන්න කාටවත් බැහැ. මගේ ගමන වළක්වන්න කාටවත් බැහැ. මම ඒකට කාටවත් ඉඩ දෙන්නේ නැහැ. වෙන කාටවත් තියා මම, මගේ ගමන නවත්තන්න මටවත් ඉඩ දෙන්නේ නැහැ” යැයි දිරිගන්න. “මගේ සිහින යථාර්ථයක් කරගන්න මම අධිෂ්ඨාන කරගන්නවා. ඒක මම ඉටුකරගන්නවාමයි.” යනුවෙන් ඔබ ඔබටම පොරොන්දු වන්න.

ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබේ හැකියාවන් විශ්වාස කරන්න. ඔබට අවැසි කොතැනට යන්න ද? කවුරුන් වන්න ද? එය මේ නව වසර ඇරඹුමේ ම සිතන්න.

නයෝමිගේ කතාව

ඔබ දන්නවා ඇති ලෝක ප‍‍්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පිනී නයෝමි කැම්බල් ගැන. ඇය ඉතා කුඩා වියේ දී තමයි මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්නේ. 1980,1990 දශකවල සුදු ජාතික ළඳුන් පරදා මෝස්තර නිර්මාණ ශිල්පින්යන් අතර අංක 1 සුපිරි තරුව වන්නේ ඇයයි. අවසානයේ ලොව අංක එකේ මෝස්තර නිර්මාණ ශිල්පිනිය බවට පත්වන්නේ ඇයයි. විලාසිතා ලෝකයේ වර්ණවාදී බාධක බිඳ දැමූ පළමු කළු ජාතික මෝස්තර නිර්මාණ ශිල්පිනියත් ඇයයි. ඒවගේම බි‍‍්‍රතාන්‍යයේ සහ ප‍‍්‍රංශයේ වෝග් සඟරාවල හා ටයිම්ස් සඟරාවේ කවර සැරසූ ප‍‍්‍රථම කළු ජාතික මෝස්තර නිරූපණ ශිල්පිනිය ඇයයි. ඇය තම හැකියාව මතින් ඒ පිළිබඳ විශ්වාසය තබා තමන්ගේ ජීවිතය ජයග‍‍්‍රහණ මාවතට යොමුකරගත් කාන්තාවක්. ඇය ජීවිතය සාර්ථක කරගන්න හිතන අයට මේ අගනා ප‍‍්‍රකාශකර තිබෙනවා.

“කවදාවත් ඔබ කවුද කියලා සොයන්න එපා. ඔබ වීමට අපේක්ෂා කරන පුද්ගලයා සොයන්න”

“මම අහිමිවීම්වලට කැමැති නැහැ. ඒත් මම ඒ අහිමිවුණු දේ ගැන සිත සිතා ඉන්නේත් නැහැ. ඒ ගැන කණගාටු වන්නේත් නැහැ. මට යම් දෙයකට ‘නැහැ’ කියන්න වෙනවා නම් මට ‘හැකියි’, ‘තියෙනවා’ කියන්න පුළුවන් වෙන පාරක් හොයාගන්නවා.”

නයෝමි කැම්බල්ගේ මේ වටිනා ඔවදන් ඔබේ ජීවිතයටත් සමීප කරගන්න.