කළ නො හැකි දෙයක් ලොව නැත

ජනවාරි 16, 2019

සොඳුරු ලොවකට දොරගුළු හැරදෙන තාරුණ්‍ය ජව සම්පන්නය. ඒ ජවය කොතෙක්වේද යත් ඔබ සිතුවොත් ඔබට කළ නො හැකි දෙයක් ලොව නැත. එසේ සිතා ලොවක් දිනූ දිරිය දියණියකගේ කතාවයි මේ.

ශීතල මිහිදුම් සළු පොරවා ගත් හිමාලය පසුබි මුවුණු ඒ රමණීය පරිසරය මොනතරම් නම් අයස්කාන්තද? ඒත් එහි දිවිගෙවන දරුවන්ගේ ජීවිත හිමාලය තරමටම සුන්දරද? සුන්දර හිමාලයේ හිඳ අසුන්දර ජීවිත සුවඳවත් කරන්නට ඈ ගත් උත්සාහය අප්‍රමාණයි. ඇගේ ඒ උත්සාහය හිමාලය තරමටම උසයි. හිමාලය තරමටම ශක්තිමත්.

අරමුණු විවිධයි

සාර්ථකත්වය විවිධ අයුරින් දකින්න පුළුවන්. එයට හේතුව විවිධ පුද්ගලයන්ට විවිධ අරමුණු තිබීමයි. ව්‍යාපාරිකයෙක් වෙලා අංක එකේ ධනවතෙක් වෙන්න හිතන අය ඉන්නවා. ඉහළම රැකියාවක් කරලා ජීවිතය දියුණු කරගන්න හිතන අය ඉන්නවා. මුදල් අරමුණ කරගෙන ඒ පසුපස ගිහින් මුදල් උපයන්න වෙහෙසෙන අය ඉන්නවා. සමහරු සිහින දකින්නේ ලස්සන ගෙදරක නිදහසේ දරුවන් සමඟ සතුටින් ඉන්නයි. ඒ සඳහා අවශ්‍ය මුදල් උපයාගෙන හැමදේම ඉටුවුණාට පස්සේ සතුටින් ඉන්නවා. ඒත් හැමෝටම ධනවතෙක් වෙන අදහස නො තිබෙන්න පුළුවන්. සමහරු කැමැති කාටත් උදවු කරගෙන ජීවත් වෙන්න. තවත් අය ඉන්නවා වන සතුන්, ගහකොළ පිළිබඳ සොයමින් කාලය ගත කරනවා. නැත්නම් ලෝකය වටේ සංචාරය කරන්න හිතනවා. එහෙම තම තමන් කැමැති අරමුණු හදාගෙන ඒවා ඉටුකරගන්න උත්සාහ කරනවා.

මේ විදිහට විවිධ අයුරින් සාර්ථකත්වයට පත්වෙන්න හිතන පිරිස් ඉන්නවා. මේ තරුණිය තමන්ගේ ජීවිතය අනෙක් අයගේ සතුට වෙනුවෙන් කැප කළ කෙනෙක්. ඒ කැපකිරීම තමයි එයාගේ සතුටත් සාර්ථකත්වයත්. ඇය මැගී ඩෝයින්. 1986 අමෙරිකාවේ නිව් ජර්සිවල උපන් මැගී තමන්ගේ 17 වැනි උපන්දිනයෙන් පස්සේ 2005 වසරේ දී ලෝක සංචාරයකට එක්වන්නේ ස්වේඡා සේවයට එක්වෙමින්. එහිදී ඉන්දියාවට පැමිණෙන මැගී ළමා නිවාසයක වැඩකටයුතු කරගෙන ඉන්නවා. ඒ අතර ඇයට නේපාල සරණාගත තරුණියක් වන සුනීතා හමු වෙනවා. මැගී සුනීතා සමඟ කතා බහේදී මැගී සමඟ සුනීතාගේ රටට යන්න කැමැති වෙනවා. දින දෙකහමාරක බස් රථ ගමනකින් හා තවත් දින දෙකක් වැනි කාලයක් කඳු නැඟීමෙන් පස්සෙ සුනීතාගේ ගමට සේන්දුවන මැගී දකින දසුනකින් හද කම්පා වෙනවා.

මෙය ද ජීවිතය

අවුරුදු පහක් තරම් වයසේ දියණියක් කුලියට ගල් කඩන්නේ බඩගින්න නිවාගන්න කීයක් හෝ උපයා ගන්නයි. ඇය හේමා. හේමාගේ මේ කාර්යය දකින මැගී ඇයව පාසලකට ඇතුළත්කර අධ්‍යාපනය ලබාදෙන්න කටයුතු කරනවා. ඒ සඳහා ඇය පාසල් ගාස්තු, නිල ඇඳුම්, පොත්පත් ආදී සියලු දේ හේමාට ලබා දෙනවා. දරුවන් එක්කෙනෙක් නෙමේ සිය ගණනක් තම ජීවිකාව මේ විදිහට කරගෙන යනවා. වැඩි හරියකට මාපියන් නැහැ. ඒ නේපාලයේ පැවැති සිවිල් යුද්ධය නිසා. “සිනහ කැකුළු පිපෙන මුව මත තිබුණේ දුක්බරබවක් විතරයි. දරුවන් කියන්නේ මේ ලෝකය ලස්සන කරන්න ආව පිරිසක්. ඒ වුණාට එයාලගේ ලෝකයේ කෝ ලස්සනක්. අඳුර විතරයි තියෙන්නේ.”

තීරණයක් ගනී

මේ විදහට හිතපු මැගී අමෙරිකාවෙ ඉන්න තමන්ගේ මවුපියන්ට පණුවුඩයක් යවනවා තමන් උපයාගෙන ඉතිරිකර තිබූ ඩොලර් 5000 එවන්න කියලා. ඇයට ඕනේ වුණා මේ කුඩා දරුවන්ට සෙවණක් දෙන්න. ඔවුන්ට සරණක් වන්න. ඇය ඉඩමක් මිලදී ගෙන කාගේත් උපකාර ඇතිව නිවහනක් ගොඩනැගුවා. මාපියන් අහිමි දරුවන් මෙහි ඇගේ දරුවන් නමින් හැදී වැඩෙනවා. ඇයට අවුරුදු 19 ක් වෙනකොට ඇය භාරකාර මවක්. ඇගේ පළමු භරකාර දරුවා වුණේ නිශා. දැන් ඇයට ළමයි 50 ක් විතර ඉන්නවා. දරුවන් වෙනුවෙන් නිවහනක් තැනූ ඇය ඊළඟට පාසලක් ඉදිකළා. ඒ පාසලේ අද දරුවන් 300 ක් පමණ ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඇය ග්‍රාමීය කාන්තාවන් වෙනුවෙන් වෘත්තීය පුහුණු පියසක් ආරම්භ කළා. ලොකු ගැහැනු දරුවන්ට ආරක්ෂාවක් සහිතව ඉන්න තවත් නිවහනක් හැදුවා. මේ සියලුදෙනාගේම සෞඛ්‍යය නංවන්න ඇය සෞඛ්‍ය කඳවුරු පවත්වනවා. ඒ වෙනුවෙන් බෙහෙත් දෙන්න ශාලාවක් ඉදිකළා. එපමණක් නොවේ ඇය ඒ පැත්තට අලුත් විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්නත් කටයුතු කළා. අවුරුදු විසිගණනක් වෙනකොට අවුරුදු 17 න් ගෙදරින් ආපු පුංචි කෙල්ල බොහෝ අයට හිතන්නවත් බැරි මහා හුඟාක් වැඩ අසරණ දරුවන් වෙනුවෙන් ඉටුකරලා තියෙනවා.

2019/01/16 තරුණි බලන්න