වැලන්ටයින් ආදරය සහ සැබෑ ආදරය

පෙබරවාරි 13, 2019

ආදරය යන පාරිශුද්ධ අසීමිත හැඟීම වදනින් ලියා සිමා කළ නොහැකි දෙයකි. එමෙන්ම ආදරයට සුවිශේෂී දිනයක් නොව සෑම දිනයක්ම එයට විශේෂිත විය යුතුය.

පෙබරවාරි මාසය වසරේ අනෙක් මාසවලට සාපේක්ෂව බෙහෙවින් කතාබහට ලක්වෙයි. එනම් පෙබරවාරි 14 වැනි දින ආදරවන්තයන්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය ලෙස නම් දරා ඇති නිසාවෙනි. ආදරයෙන් එක්වීමට නොහැකිව පීඩාවට පත්ව සිටි ආදරවන්ත යුවළ රාශියක් එකවර විවාහ කරවීම වැලන්ටයින් නම් පුජකතුමකු මුල් වීමෙන් මෙම දිනයේ සිදුකිරීම නිසා මේ දිනය ලොව පුරා ආදරවන්තයන්ගේ දිනය ලෙස ප්‍රසිද්ධ විය. වැලන්ටයින් පියතුමා මේ කාර්යය සිදු කළ බැවින් වැලන්ටයින් දිනය ලෙස නම් කෙරිණි. වැලන්ටයින් දිනය පිළිබඳ ආදරණිය ලෙස හා යහපත් ලෙස කතාබහේ දී වැලන්ටයින් සමරන ආකාරය ගැන ද අප අවධානයෙන් බැලිය යුතු බව අප හොඳින් වටහා ගත යුතුයි.

මවකට, දියණියකට, සොයුරියකට එනම් ඕනෑම කාන්තාවකට ආදරය යනු ඇගේ ජිවිතයේ අත්‍යවශ්‍යම දෙයකි. එහෙත් ඒ ආදරය කිසිදු විටෙක ඇය තළා නොපළන, හිරිහැරයක් නොවන දෙයක් විය යුතුයි.වැලන්ටයින් දිනයට සාපේක්ෂව කාන්තාවන්ගේ ආදරය හා කාන්තාවන් කෙරෙහි දක්වන ආදරය වැලන්ටයින් දිනයේ සැබෑ අර්ථයෙන් බොහෝ දුරකට ගමන් කර ඇත. පෙබරවාරි මාසය ආරම්භයේ පටන් සමාජ මාධ්‍ය වැලන්ටයින් දිනය මාකට් කරයි. ආදරයේ අකුරු හතරෙහි තේරුමවත් හරි හැටි නොදන්නා කෝඩුකාර පෙම්වතියන් සිය ආදරයේ පාරිශුද්ධත්වය ඔප්පු කරන දිනය බවට වැලන්ටයින් දිනය පත් කර ගනියි. ජීවිතයේ රැස් කරගත් සියලු වටිනාකම් එක් හැඟීමකට, මොහොතකට හිලව් කරයි. වැලන්ටයින් යනු ආදරය ඔප්පු කරන දිනයක් නොවේ. සැබෑ ආදරය කිසිවිටෙක ඔප්පු නො කළ යුතු අතර එය පවතින්නේ හදවතෙහි ඇති පාරිශුද්ධත්වය සමඟිනි. එහෙත් නූතනයේ වැලන්ටයින් ආදරය හුදෙක්ම ෆැන්ටසියක් පමණි. සැබෑ ආදරයට සමීපවීමට එම ෆැන්ටසියට නොහැකියි. ඇතැම් තරුණියන් සිතන්නේ පෙම්වතියන් වීමට එකම සුදුසුකම වැලන්ටයින් දිනයේ සිය පාරිශුද්ධබව හිලව් කිරීම බවයි. එහෙත් එය සත්‍යය නොවේ. අව්‍යාජත්වය හා යහපත සැබෑ ආදරයේ පදනම විය යුතු අතර එය වැලන්ටයින් දිනයේ ද එලෙසම පැවතිය යුතුයි. ආදරය හා වැලන්ටයින් මාකට් කරන පුද්ගලයන්ගෙන් ද ප්‍රවේසම් විය යුතුය. ආදරය සමරන්නට අවැසි නම් සැබවින්ම ආදරණිය හා යහපත් ලෙස එය සැමරිය යුතුය .

 

2019/02/13 තරුණි බලන්න.