ජීවිතය දිනන මාර්ගය ඇත්තේ ඔබේ අතේමය

පෙබරවාරි 20, 2019

ජීවිතය කියන්නේ පුදුමාකාර දෙයක්. මට, මම කියන පුද්ගලයා හිමිවී තියෙන්නේ එවැනි පුදුමාකාර දෙයක් විදිහටයි. ඇත්තටම මම, මට ලැබුණු තිළිණයක්. මේ තිළිණය තව තවත් වර්ධනය කරගන්න පුළුවන්.

ඒ වගේම මේ තිළිණය හැමෝටම කරදරයක් වන විනාශකාරී දෙයක් බවට පත්කරගන්නත් පුුළුවන්. ඒ හැමදේම සිදුවන්නේ මම කියන පුද්ගලයා හිතන පතන විදිහ අනුවයි.

ඒ හින්දා දරුවන් කුඩා වියේ සිටම ඔවුන් මාපියන්ට මේ සමාජයට වගේම ඔවුන්ටම ලැබුණු අගනා තිළිණයක් විදිහට අඳුන්වලා දෙන්න ඕනේ. එතකොට තමයි අපේ දරුවන් තේරුම් ගන්නේ ඔවුන්ගේ වටිනාකම. ඒ දරුවන්ට අපි ආදරයත් සමඟ ඔවුන්ගේ වටිනාකම් පහදා දෙනවා නම් දරුවෝ කවදත් මේ සමාජයට පිළිලයක් නොවී සම්පතක්ම වේවි. ඒ සම්පත් තමයි හොඳ මාර්ග ඔස්සේ සාර්ථකත්වය සොයා යන්නේ.

බිල් ගේට්ස් කියන්නේ බොහොම හොඳ ආදරයක් මාපියන්ගෙන් හිමිවුණු දරුවෙක්.

ඔහු කුඩා වයසේදීම තමන් මේ ලෝකයට ආවේ ඇයි කියන දේ හඳුනා ගන්නවා. ඊට පස්සේ තමා වඩාත් කැමැතිම දේ පසුපස හඹා යනවා. එහි ප්‍රතිඵලය වන්නේ ලොව අංක එකේ ධනවතා මෙන්ම ලොව අංක එකේ සාර්ථක පුද්ගලයා බවට පත්වීමයි. ඒ හින්දා මේ අසහාය පුද්ගලයාගෙන් අපට ඉගෙන ගන්න බොහොම වැදගත් වටිනා පාඩම් තියෙනවා. සාර්ථකත්වය අත්විඳින්න කැමැති අයට ඒ පාඩම් කදිම මාර්ගෝපදේශයක් සපයනවා.

අපි එවැනි පාඩම් බොහොමයක් මේ සති දෙක තුළ ඔබ ඉදිරියේ තැබුවා. අද ගෙන එන්නේ එහි අවසන් කොටසයි.

බිල්ගේ ජීවිතය දිහා බැලූ විට ඒ පාඩම් ඇත්තටම ඔහුගේ ජීවිතයෙන් පිළිබිඹු වෙනවා. ඔබ දන්නවාද ඔහු තමන් උපයන ධනය සමාජසේවා කටයුතුවලටත් යොදවනවා. ඒ බිල් ගේට්ස් මෙලින්ඩා ගේට්ස් පදනම හරහායි. ඒ වගේම ඔහු සතු වැදගත්ම දෙයක් තියෙනවා. ඒ කරුණ නම් ඔබ දැනගත යුතුම දෙයක්.

පරිගණක පැමිණීමත් සමඟ අපේ බොහොමයක් දෙනෙක්ට පතපොත කියැවීම අමතක වෙලා ගිහින්. ඒත් පරිගණක තාක්ෂණයේ විප්ලවයක් කළ මේ අසමසම පුද්ගලයා පුංචි අවදියේ ඉඳලම පොත් කියවන්න ආසා කරනවා. මොනතරම් පරිගණකයට ඇබ්බැහි වුවත් ඔහු අදටත් හොඳ පොත් කියවන්නෙක්. ළමයකු ලෙස කියැවීමට පෙම් බැඳි මේ මිනිසා අදටත් පොත් කියවනවා. ඒ බව පොත් නො කියවන ඔබත් වටහාගන්න. ඔබේ දරුවන්ටත් පැහැදිලි කරදෙන්න. ජීවිතය දිනන මාර්ගයට පිවිසුණ ද කියවීම ඒ මාර්ගය වඩ වඩාත් පහසු කරන අතර එය ඔබේ ජීවිතය තෘප්තිමත් කරන අගනා මෙවලමකි. ලෝකය දිනන්නට ඔබේ දැනුම මුවහත් කරන එක් ආයුධයක් වන්නේ පොත් කියැවීම බව බිල් ලෝකයටම කියනවා.

මේ ඔහු ඔබට කියන අවසන් පාඩම් කිහිපයයි.

හැමවිටම නිහතමානී වන්න

සාර්ථකවීමට සිහින දකින අයට සිය සිහින යථාර්ථයක් කරගන්නට නිහතමානීවීම අතිශයින් වැදගත්. ජීවිතය රෝදයක් වගේ. ඒක පුරෝකථනය කරන්න බැහැ. අද දවස, හෙට දවස වාගේම තව අවුරුදු තුන හතරකින් හෝ දහයකින් පහළොවකින් කුමක් වෙයි ද කියලා කාටවත් නිශ්චිතවම කියන්න බැහැ.

අපි මේ දැන් හොඳට ඉන්නවා. ඒත් දිනය අවසානයේ ඒක වෙනස් වෙන්න පුළුවන්. හදිසි අසනීපයක් හැදෙන්න පුළුවන්. මිය යන්න වුණත් පුළුවන්. එහෙමනම් අද දවසේ දී අපි මොනතරම් සාර්ථක වෙලා හිටියත් මොනතරම් ඉහළක හිටියත් ඉදිරි දවසක දී අපි නොහිතන වෙලාවක ජීවිතය බිංදුවටම වැටෙන්න පුළුවන්. අපේ රටේම මෙයට ඕනෙතරම් උදාහරණ තියෙනවා. බලන්න, සෙලින්කෝ ව්‍යාපාරය කිව්වම අපේ රටේ විතරක් නෙමේ විදේශවලත් කතාබහට ලක්වුණු එකක්. එහි අධිපති තුමා අන්තිමටම ලොකු ණයකාරයෙක් වුණා. ඒ විතරක් නෙමේ. එදිරිසිංහ ව්‍යාපාරයට පසුගිය කාලයේ අත්වුණු ඉරණම දැක්ක නේද? ඉතින් එහෙමනම් අපිටත් ඒ දේ සිද්ධවෙන්න පුළුවන්.

ඒ හින්දා අපි අංක එකට ඉන්නවා. සාර්ථකත්වයේ ඉහළින්ම ඉන්නවා කියලා ආඩම්බරයෙන් ඉඟිල්ලෙන්න හොඳ නැහැ. අපි අහංකාර වෙන්න හොඳ නැහැ. ඒ මොකද අපි නොහිතන මොහොතක ඇදගෙන වැටෙන්න පුළුවන්. ඒකයි යථාර්ථය. එහෙනම් හොඳම දේ තමයි හැමවිටම අපි නිහතමානී වීම. අපි මොනතරම් ඉහළට ගියත් ඒ නිහතමානීකම අප සතුව තිබිය යුතුයි. ඒක හරියට ඔබට ආභරණයක් වගේ දෙයක්. ඔබේ ශ්‍රේෂ්ටත්වය ලොවට කියාපාන දෙයක්. ඔබේ මහත්මා ගුණය ලොවට පෙන්වන දෙයක්. බිල් කියන්නේ “සාර්ථකත්වය කියන දේ හරියට නරක ගුරුවරයෙක් වගේ. එය මිනිසුන්ව නොමඟ යවනවා තමන්ට කවදාවත් අහිමි වෙන්නේ නැහැ. කවදාවත් පැරදෙන්නේ නැහැ. ඇද වැටෙන්නේ නැහැ කියලා හිතන්න. ඒත් ඒක වැරැදියි. ඕනෑම සාර්ථක පුද්ගලයෙක් බිංදුවට වැටෙන්න පුළුවන්.”

2019/02/20 තරුණි බලන්න.