ඔබටම ආවේණික ක්‍රමයක් සොයා ගන්න

මාර්තු 20, 2019

ජීවිතය මොනතරම් දුෂ්කර වුවද සොඳුරු සිහින දකින්නෙක් ලොව නො සිටිය නො හැකිය. ඒ මෙලොව උපදින අප සියල්ලන්ම බලාපොරොත්තු සහගත මිනිසුන් වන බැවැනි.

මෙය කියවන ඔබත් ඒ ප්‍රවාහයෙහි එක් කොටස්කරුවෙකි. එනිසාම ලොව දිනන මඟ මා ඔබට ගෙන එන්නේ ඔබේ ජීවිතයේ ජයග්‍රහණය උදෙසාමය.

අපි පසුගිය සතියේ සිට කියවන්නේ ලෝ ප්‍රකට සූපවේදී ‘ගෝර්ඩන් රැම්සේ’ ගේ සාර්ථකත්වයේ රහස්ය. රූපවාහිනී මාධ්‍ය හරහා ආහාර පිසීමේ කලාව ලොවට කියන ගෝර්ඩන් ඒ සඳහා නම් දැරූවෙකි. ලොව වටා ඇති අවන්හල් දාමයක හිමිකරුවකු වන ඔහු කෝටිපතියෙක් ද වේ. අප්‍රතිහත ධෛර්යයෙන් ලොව දිනූ මේ මිනිසාගේ පාඩම් ඔබට ද ජීවිතය දිනන්නට මඟ කියාදෙනු නො අනුමානය.

ඔබ කරන දේ විශ්වාස කරන්න

ඔබේම ආකෘතියක් ගොඩනගාගන්න

ඔබ ඔබේ හැකියාවන් විශ්වාස කළ යුතුයි. ඔබට ඒවා පිළිබඳ අවිශ්වාසයක් ඇත්නම් කිසිවිටෙකත් සාර්ථකත්වයක් අත්පත් කරගත නොහැකියි. ඒ නිසා පළමුව ඔබට කළ හැකි දේ හරියාකාරව හඳුනා ගන්න. එය කරන්න පටන් ගන්න. එය කළ හැකි බවටත් එමඟින් සාර්ථකත්වය අත්පත් කරගත් හැකිබවටත් එබේ හිතේ විශ්වාසයක් ඇති කරගන්න. ආත්ම විශ්වාසය බොහෝ දේ ළඟා කරගැනීමටත් සාර්ථකත්වය ලබා ගැනීමටත් මඟපෙන්වයි. ඔබට ඔබ කරන දේ පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඒ නිසාම ඔබේ සිතුවිලි පීඩාකාරී වේ. ඔබ පීඩනයට පත්වේ. හැමවිටම සැකය ඔබේ සිතේ රජ කරයි. මේ පීඩාව ඔබව මෙහෙය වන්නේ අසාර්ථකත්වය වෙතයි. එවිට ඔබ කරන කිසි දෙයක් සාර්ථක වන්නේ නැත.

එමෙන්ම ඒ දෙය කිරීමට ඔබටම ආවේණික ක්‍රමයක් සොයා ගන්න. අරයා කරන්නේ මේ විදියට නිසා මාත් එහෙම කරනවා යනුවෙන් නොසිතා අනුකරණයක නොකර ඔබේම ක්‍රමයකට එය ඉටු කරන්න. ඔබ පොතක් ලියනවා යැයි සිතන්න. එහිදී අරයා ලිව්වේ මේ විදියට, මෙයා ලිව්වේ මේ විදියට, ඒ නිසා මාත් ඒ විදියට ලියනවා යැයි සිතා එලෙස ලියන්නට නොයන්න. ඔබේ පොතට අලෙවියක් අති කරගත හැක්කේ ඔබේම ක්‍රමයකට එය ලියන්නේ නම් පමණි. එමෙන්ම එම ක්‍රමය ඔබ ඉලක්ක කරන කණ්ඩායම පිළිගන්නා එකක් ද විය යුතුයි. ඒ නිසා කරන දේ හරියට කරන්න. ඒ පිළිබඳ විශ්වාසයක් ගොඩනගා ගන්න. ඔබේම ක්‍රමයකින් ඉදිරියට යන්න.

 

2019/03/20 තරුණි පුවත්පත බලන්න.