වැඩිහිටියන් වැටීම්වලින් ආරක්ෂා කරමු

අප්‍රේල් 17, 2019

ඔබේ නිවෙස තුළ ඔබේ පවුලත් සමඟ වියපත් සීයා-ආච්චී හෝ වැඩිහිටි මව සහ පියා වෙසෙනවා විය හැකියි. ඔවුන්ගේ සෞඛ්‍යය ගැන විමසිලිමත් වීමේ වගකීමත් ඇත්තේ ඔබේ කරපිටය. මෙම වැඩිහිටියන්ගේ සෞඛ්‍යය ගැන විමසන විට ඔබ වැඩි අවධාරණයක් දැක්විය යුතු ප්‍රධානම අවශ්‍යතාවක් වන්නේ වැටීම් නිසා ඇතිවන අනතුරු පිළිබඳවය.

වැඩිහිටියන් අතර වැටීම් සුලබය. එහෙත් ඉන් දරුණු ප්‍රතිවිපාක ඇතිවන්නේ කලාතුරකිනි. එසේ වුවද ඒ ඇතිවන සංකූලතා ඉතාම බරපතළ විය හැකිය. පහළට ඇද වැටී ඔත්පළ වන වැඩිහිටියකු දරුණු වේදනාවෙන් පෙළිය හැකිය. තම දෛනික වැඩකටයුතු කරගත නොහැකිව ඇඳට සීමාවීය හැකිය. එසේම උකුළු සන්ධිය, අතපය බිඳීගියහොත් ඉතා දරුණු තත්ත්වයක් උද්ගත විය හැකියි. එහෙයින් වැඩිහිටියන් බිම ඇද වැටීමෙන් වළක්වා ගැනීමට නිබඳව උත්සාහ කළ යුතුය. ඒ සඳහා ගත හැකි පියවර කිහිපයක් මෙසේය.

ව්‍යායාම ගැනීම අතපසු නොකරන්න

ව්‍යායාම හේතුවෙන් පේශී ශක්තිය සහ අස්ථි ඝනත්වය ඉහළ යා හැකියි. ක්‍රියාකාරකම් මෙන්ම ව්‍යායාම ද නොගෙන සිටින විට අස්ථි තුනීවී ඔස්ටියෝපොරෝසියාව තත්ත්වය ඇතිවී සුළු වැටීමකින් පවා අස්ථි බිඳීයාමේ තත්ත්වයට මුහුණ දීමට සිදුවෙයි. වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන් අඩු වශයෙන් සතියකට මිනිත්තු 150ක පමණ කාලයක් ස්වායු (එළිමහනේ යෙදෙන) ව්‍යායාම ගැනීම අවශ්‍ය බව නිර්දේශිතය. ඒ සඳහා ඇවිදීම, සිටිතැන දිවීම(ජොගිං) වැනි ව්‍යායාම වඩා සුදුසුය. කෙසේ වෙතත් වැඩිහිටියන් ව්‍යායාම කිරීමට පෙර තම වෛද්‍යවරයා හමුවී තමන්ගේ කායික සෞඛ්‍යය තත්ත්වයට ගැළපෙන ව්‍යායාම කවරේද යන්න ගැනත් කොතරම් කාලයක් ඒ සඳහා ගතකළ යුතුද යන්නත් විමසා බැලීම වැදගත්ය. විශේෂයෙන්ම මෙතෙක් කය නොවෙහෙසන ‘අලස’ දිවි පෙවෙතක් ගෙවූ අය, බෝ නොවන රෝග තත්ත්වයකින් පෙළෙන හෝ එවැනි රෝගයකින් සුවය ලැබූ අය, ශල්‍යකර්මයකට ලක්වූවන් මෙන්ම අනතුරකට පත්ව සුවය ලැබූ අයද නැවත ව්‍යායාම ඇරඹීමට පෙර වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය.

තුල්‍යතාවය රැකගන්න

බොහෝ වැඩිහිටියන් පවසන්නේ පෙරදී මෙන් දැන් තමන්ට ‘බැලන්ස්’ නැති බවයි. අස්ථි හා පේශී සම්බන්ධතා දුර්වල වනවිට බැලන්ස් එනම් තුල්‍යතාව නැතිනම් සමබරතාව බිඳ වැටෙයි. ව්‍යායාම ගැනීම, නොලිස්සන සුලු පාවහන් හා සෙරෙප්පු විශේෂයෙන්ම රබර් අඩි සහිත සෙරෙප්පු පැලඳීමෙන් තුල්‍යතාවය රැකගැනීමට පුළුවන.

භාවිත කරන ඖෂධ ගැන විමසිලිමත් වන්න

අධික රුධිර පීඩනයට ලබාදෙන සමහර ඖෂධ, නින්ද ඇතිකිරීමට ලබාදෙන ඖෂධ, ප්‍රතිනිෂ්ටධීය ඖෂධ මෙන්ම ප්‍රති විෂාදීය ඖෂධ නිසා ද වැටීමට ඇති හැකියාව ඉහළ නංවයි. එහෙයින් වෛද්‍යවරයකු ඔබට ඖෂධ ලබාදෙන විට ඒවා මඟින් කැරකැවිල්ල හෝ නිදිමත ගතිය හෝ ඇතිකරන්නේ ද යන්න ගැන විමසන්න. කිසියම් ඖෂධයක් ගත්විට එවැනි අතුරු ආබාධයක් ඇතිවූයේ නම් ඒ පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීම ද ඉතා වැදගත්ය. සමහරවිට ඖෂධය වෙනස් කිරීමට හෝ ඔබ ගතයුතු ආරක්ෂිත පියවර පිළිබඳ එවිට වෛද්‍යවරයා ඔබව දැනුවත් කරනු නොඅනුමානය.

වරින්වර ඇස් පෙනීම පරීක්ෂාකරවා ගන්න

වැඩිහිටියන් වැඩිදෙනෙක් හදිසි වැටීම්, අනතුරුවලට ලක්වන්නේ ඔවුන්ගේ පෙනීමේ දුර්වලතා හේතුකොට ගෙනය. අඩුතරමින් වසරකට වරක්වත් ඇස් පෙනීම පරීක්ෂා කරගත යුතුය. දැනටමත් උපැස් යුවළක් පලඳින අයකු වුවත්, ඇස් පෙනීම පරීක්ෂාකර එය තවදුරටත් පැලඳීම සුදුසුද නැතිනම් වෙනත් ඇස් කණ්ණාඩි යුවළක් ගත යුතුද යන්න නිගමනය කළ යුතුය. එසේම ඇසේ සුද (තිමිරය-කැට්රැට්) තත්ත්වය වැඩිහිටියන් අතර සුලබ අක්ෂි රෝගී තත්ත්වයකි. කාචයක් බද්ධ කිරීම තුළින් මෙම තත්ත්වය සුවපත් කළ හැකිය. එසේම සම්පූර්ණයෙන්ම සුවපත් කළ නොහැකි වූවද ග්ලූකෝමාව වැනි රෝග ඖෂධ භාවිතය මඟින් පාලනය කළ හැකිය. ඇස් පෙනීම යථා තත්ත්වයට පත්කිරීම තුළින් බොහෝ වැටීම් වැළැක්වීමට හැකිවූ බව අධ්‍යයන පෙන්වා දී ඇත.

අස්ථිවලට නිසි පෝෂණය ලබාදෙන්න

වයස්ගතවන විට අප කොයිකාගේත් අස්ථි දුර්වල වෙයි. අස්ථි ක්ෂීණතාව, අස්ථි වෛවර්යය ආදී නම්වලින් හඳුන්වන අස්ථි තුළ අඩංගු කැල්සියම් ඉවත් කරවන ඔස්ටියෝපොරෝසියා තත්ත්වයට අප ඕනෑම අයකු ලක්විය හැකිය. මෙම තත්ත්වයට කාන්තාවන් ලක්වීම වඩාත් සුලබය.

අස්ථි සෞඛ්‍යය සුරැකීම සඳහා වන ප්‍රධාන නිර්දේශ දෙක වන්නේ ව්‍යායාමයන්හි නිරත වීම සහ කැල්සියම් බහුල ආහාර වේලක් ගැනීමය. වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන් දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 1200 ක් පමණ ද පිරිමියකු කැල්සියම් මිලිග්‍රෑම් 1000ක් පමණ ද ගත යුතුය. වයස අවුරුදු 70 ඉක්මවන විට පිරිමියකු ද දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 1200 ක් ගත යුතුය. කිරි සහ කිරි ආහාර, කටු සමඟ ආහාරයට ගත හැකි කුඩා මත්ස්‍යයන් , සෝයා නිෂ්පාදනයන්, චීස්, යෝගට්, පලා,

එළවළු, දිවුල් වැනි පලතුරු මෙන්ම කැල්සියම්වලින් අධිපෝෂිත පාන වර්ග සහ ආහාර කැල්සියම් ලබාගත හැකි ප්‍රධාන මාර්ගයන්ය. විශේෂයෙන්ම පෙති හා සිරප් වශයෙන් කැල්සියම් නොගෙන ආහාරයෙන්ම අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය සපයා ගැනීම සෞඛ්‍යමය ගැටලු ඇතිවීම අවම කරයි.

නිවෙස තුළ බිම වැටීමට උදවු වන සාධක ඉවත්කරන්න

නිවෙස තුළ බිම දමා ඇති ඉරුණු හා ලිස්සන සුලු කාපට්, පාපිසි, පැදුරු ආදිය ඉවත්කරන්න. ටයිල් අල්ලා ඇති බිමෙහි ලිස්සන සුලු තැන් ඇත්නම් එයට සුදුසු පිළියම් යොදන්න. වැඩිහිටියන් ගැවසෙන තැන්වල නිතර තෙමීම සුදුසු නොවන බව වටහා ගන්න.

ඇවිදීමට අපහසු සහ පෙනීම දුර්වල වැඩිහිටියන් ගමන් කරන මාර්ගයෙහි ඇඟේ හැපිය හැකි පුටු, මේස, කබඩ්. සෝෆා ආදිය ඇත්නම් ඒවා එහා මෙහා කර වැඩිහිටියන්ට කෑම මේසයට, වැසිකිළියට, කුස්සියට, බුදු මැදුරට ආදී වශයෙන් වන ගමන් මං අවහිර නොවන සේ සකසන්න.

 

2019/04/17 තරුණි පුවත්පත බලන්න.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.