සෞඛ්‍ය සම්පන්න දිවියකට මැටි ගුරුලේත්තුව

අප්‍රේල් 24, 2019

අතීතයේ දී අපේ නිවෙස්වල සීතලට වතුර බොන්න මැටි කළයක්, ගුරුලේත්තුවක් වැරැදුණේ නෑ.

ස්වාභාවික ජලය වඩාත් සිසිල්කර ලබාදෙන්න උපකාරි වන අලංකාර ගෘහ භාණ්ඩයක් වන ගුරුලේත්තුව නැවතත් භාවිතයට එක් වෙමින් පවතිනවා.

බොහෝ විට අපට නිතර බීමට ලැබෙන්නේ ක්ලෝරීන් මිශ්‍රිත ජලයයි. මේ හැර ජලයට එක්වන රසායනික ද්‍රව්‍ය පිළිබඳ වැඩිදෙනකු තුළ වැටහීමක් නොමැති වීම නිසා විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙමින් පවතිනවා. මැටි ගුරුලේත්තුවක් සතු විශේෂත්වය වන්නේ ජලයේ ඇති විස බැර ලෝහ, රසායන ද්‍රව්‍ය හා ක්ලෝරීන් උරාගැනීමේ හැකියාව සහ ජලයේ නියමිත මිනරල් සංයුතිය ද පවත්වා ගෙන යාමට උපකාරී වීමයි. එසේම ගුරුලේත්තුවෙහි ඇති සියුම් සිදුරු තුළින් අවට ඇති උෂ්ණත්වය මඟින් ඇතුළත ඇති ජලය වාෂ්ප වන අතර, එමඟින් ඇතුළත ඇති ජලය සිසිල් වෙයි. මේ නිසා නිවෙසේ දී පානය සඳහා ගන්නා වතුර තැබීමට වඩාත් සුදුසු වන්නේ ප්ලාස්ටික්වලින් සැකසූ ගුරුලේත්තුවක් නොව මැටිවලින් සෑදූ ගුරුලේත්තුවක්. එමෙන්ම ස්වාභාවික මැටියෙන් තැනූ ගුරුලේත්තුවලින් පරිසර හානියක් සිදු වන්නේ ද නැහැ.

කුඩා පවුලක ප්‍රයෝජනයට ගුරුලේත්තුවක් භාවිත කිරීමේ දී නම් සය මසකින් පසු එම බඳුන සතු උරා ගැනීමේ ශක්තිය අඩුවන අතර එම කාලයෙන් පසු නැවතත් එම බඳුන හොඳීන් පුලුස්සා භාවිත කළ යුතු වෙනවා. ගෙදරදීම හෝ මැටි බඳුන් පුලුස්සන ස්ථානයකට භාර දී පුලුස්සා ගැනීමෙන් ගුරුලේත්තුව නැවත යථා තත්ත්වයෙන් භාවිතයට ගන්න පුළුවන්. ගෙදර දී පිරිසුදු කරනවා නම් දර ළිපක් උඩ මුනින් අතට නමා තැබීමෙන් ළිපෙහි අළු, දුම් ඒ තුළට යාම මඟින් විසබීජ විනාශ වී පිරිසුදු වේ. නිරතුරුවම පිරිසුදුකර ඉර එළියේ දමා හොඳීන් වියළා ගැනීමෙන් ගුරුලේත්තුව වඩාත් සෞඛ්‍යාරක්ෂිතව භාවිත කළ හැකියි.

මුත්‍රා ආසාදන, ගැස්ට්‍රයිටිස්, මුත්‍රා ගල්, මලබද්ධය ආදී රෝග රැසකින් වැළකෙන්නට නම් නිතරම ජලය වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගැනීම අත්‍යවශයි. මැටියෙන් සකසන ලද ගුරුලේත්තුවක් තුළ ඇති සීතල ජලය අපූරු සුවදායී බවකින් යුතු හෙයින් ජලය නිතර පානය කිරීම අමතක නො කරනු ඇති අතර එය ඔබ නිරෝගී කරනු ඇති.