රුවින් ගුණයෙන් පිරි යුවති

අප්‍රේල් 24, 2019

තරුණියකගේ සුන්දරත්වය කෙතරම්දැයි කියා නිම කළ නොහැකිය. තරුණියක් සමාජයට මුහුණ දීමේදී ඇය පිළිබඳ විවිධ නිගමනයන්ට පැමිණේ.වඩා වටින්නේ තරුණියක් ලෙස ඇය සමාජය සමඟ ගනුදෙනු කරන ආකාරයයි.

සමාජය තුළ නිසි ගරුත්වයක් ලබාගැනීම උදෙසා සුන්දරත්වය පමණක් ප්‍රමාණවත් වේද යන්න හොඳින් වටහා ගත යුතු කාරණයකි. තරුණියන් බොහෝ සෙයින් බාහිර ස්වභාවය අලංකාර කරගැනීමට හා පවත්වා ගැනීමට විශේෂයෙන් වෙහෙසේ.

එය වරදක් නොවේ. සුන්දරත්වය රැකගන්නා අයුරින්ම තමන් සතු යහපත් ගුණාංග වර්ධනය කරගැනීමට ද තරුණිය උත්සුක විය යුතුමය.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම සිය ජීවිතයට වටිනාකමක් එක් කිරීමට තරුණිය සමත් විය යුතුමයි.

එනම් තමන්ගේ හැකියාවන් හා දක්ෂතා හඳුනාගෙන ඒවා තුළින් වඩා ඵලදායී ලෙස ජීවිතයට යොදාගැනීම වැදගත් වේ. තමන්ගේ හැකියාවන්වලින් රැකියාවක් කිරීම එලෙස යොදාගත හැකි ක්‍රමවේදයකි.

එමෙන්ම ජීවිතයේ සියලු අංශයන්හි සමබරතාව ආරක්ෂා කරගැනීම ද මෙහිදී වැදගත් වේ. අධ්‍යාපනය, රැකියාව, ගෘහ ජීවිතය ආදී මේ සියලු දේ සමබර කරගැනීම තරුණියක් සතු අනගි දක්ෂතාවකි. තමා වටා පවතින බැඳීම් නිසිලෙස පවත්වාගෙන යාම හා තමන්ගෙන් ඉටු විය යුතු දේ නිසි ආකාරයෙන් සිදුකිරීම මෙහිදී ඉතා වැදගත් වේ.

එමෙන්ම සංයමයෙන් යුතු විම තරුණියක සතු ප්‍රබල යහපත් ගුණාංගයක් ලෙස දැක්විය හැකිය. සංයමය ප්‍රගුණ කිරීමෙන් තරුණියකට ඕනෑම අවස්ථාවකට ශක්ති සම්පන්නව මුහුණ දීමේ හැකියාව ලැබෙනු නියතය.ජීවිතයේ ගැටලුවලට පිළියම් සෙවීමේ දී වුවද සංයමයෙන් යුතු වීම ඉතා වැදගත් වේ. නිවැරැදි පිළියම නිවැරැදිව සොයාගැනීමට එම ගුණය ඉතා ප්‍රයෝජනවත් වේ.

තරුණියක් වශයෙන් ගුණගරුක වීම කාලීන අවශ්‍යතාවක් බවට පත් ව තිබේ.

වර්තමාන තරුණ ප්‍රජාවට එල්ලවන චෝදනාවක් නම් වැඩිහිටියන්ට ගරු කිරීමට හෝ ඔවුන් සමඟ වැඩකිරීමට තරුණයන්ට නොහැකි බවයි. තරුණියන් වශයෙන් අප වැඩිහිටියන්ට නිසි ගරුත්වය ලබාදිය යුතුය. ඔවුන්ගේ වදනට ඇහුම්කන් දිය යුතුය.

එවිට අපට විවිධ අත්දැකීම් ලබාගත හැකියි. විශේෂයෙන් තරුණියන් මවගේ වදනට සමීප වීම හා ඇයගෙන් ගුරුහරුකම් ලබාගැනීම සිදුකල යුතුමයි.

එලෙසම තරුණියක් වශයෙන් යහපත් සමාජ ඇසුරක් තිබීම ද ඉතා වටී. මෙහිදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. වර්තමානයේ සමාජය ඉතා සංකීර්ණ නිසා අනවබෝධයෙන් සමාජය ඇසුරු කිරීමට ගියහොත් නොසිතූ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇත. සමාජ මාධ්‍ය වැනි දේ සීමාසහිතව භාවිත කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය. එහෙයින් පුද්ගලයන් ඇසුරු කිරීමේ දී සීමාසහිතව එය සිදුකිරීම වැදගත්ය.

එහි අදහස සීමිත පිරිසක් ඇසුරු කිරීම නොව තමන්ගේ තත්ත්වය ආරක්ෂාවන පරිදි සියලු දෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි.

තරුණියක් වශයෙන් දිරිමත් වීම ඉතා වැදගත් වේ.

තරුණියකට ජීවීතය ජයගැනීමට නම් දිරිමත් බව මහා බලවේගයකි. විවිධ තත්ත්වයන්වල දී පැමිනෙණ අභියෝගවලට මුහුණ දීමට මෙන්ම වටිනාකම් ගොඩනගාගැනීම උදෙසා ද ශක්තිමත්බව ඉතා වටී.

අනේක විධ ඇදවැටීම්වල දී මෙන්ම ඒවා ජයගැනීමට ද මනස දිරියෙන් පුරවාගන්න ඇයට හැකියාවක් තිබීම ඉතා අගනේය. එමෙන්ම එකී දිරියෙන් නිවැරැදි ආදර්ශයන් ලබාදීමට ද ඇයට හැකියාව ලැබෙනු ඇත. එහෙයින් දිරිය දියණියක් වීම තරුණියකට ගෙන එන්නේ අමිල වටිනාකමකි.

සුන්දර රූ සපුවක් මෙන්ම ගුණයෙන් නුවණින් පිරිපුන් යුවතිය සමාජයේ සුවිශේෂී චරිතයක් වේ.

ඔබ මලක් වැනිය. ඒ මලේ සුන්දරත්වය මෙන්ම සුවඳවත් බව ද එක සේ වැදගත්ය. එහෙයින් රූ සිරින් ගුණ සුවඳින් පිරෙන්නට ඔබට ආදරයෙන් ඇරැයුම් කරමි.