කුමට ද කියා කුණු කූඩෙට ඔබන ලෙලී ඉවතට නොදා ඉන් නිසි ඵල ගනිමු යළී

මැයි 1, 2019

 

මදුරු කරදරයෙන් ගැලවීමට, කජු ලෙලි නැතිනම් දොඩම් ලෙලි

මදුරුවන් පලවා හැරීමට කජු ලෙලි පුළුස්සා දුම් ඇල්ලීම කදිමය. නමුත් නගරයේ කජු ගස් නොමැති බැවින් කජු ලෙලි සොයා ගත නොහැකිය. ඒ සඳහා හොඳම විකල්පය දොඩම් ලෙලිය. දොඩම් ලෙලි හොඳින් වියළා කුඩුකර නිවෙස තුළ ඉසීමෙන් හෝ ජලය සමඟ මිශ්‍රකර ස්ප්‍රේ කිරීමෙන් මදුරුවන් පලවා හැරිය හැකියි.

ඇහි පිහාටු දිගින් වඩවන දොඩම් ලෙලි

කෙටි ඇස් පිහාටු ඇති යුවතියන් කෘත්‍රිමව සැකසූ දිගු ඇහි පිහාටු අලවන බැව් නොරහසකි. ඔබත් එවන් යුවතියක් නම් දොඩම් ලෙලි ආශ්‍රයෙන් ඇහි පිහාටු දිගින් වඩවා ගත හැකිවේ.

ඒ සඳහා මෙම ප්‍රතිකර්මය අනුගමනය කරන්න.

දොඩම් ලෙලි සිහින්ව ලියා පිරිසුදු ඔලිව් තෙල් බඳුනක බහාලන්න. දින 7-8 ක් පමණ තිබෙන්නට හරින්න. ඉන් පසුව දිනපතා රාත්‍රී නින්දට පෙර එම තෙල් ස්වල්පය බැගින් ගෙන ඇසට ඇතුළු නොවන පරිදි ප්‍රවේසමෙන් ඇහි පිහාටු මත ගල්වන්න. කාලයක් ගතවන විට සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකියි.

දොඩම් ලෙල්ලෙන් නැවුම් රසයක්

සුප් පිසින විට දොඩම් ලෙල්ලක් සමඟ සැල්දිරි එක්කිරීමෙන් එයට නැවුම් රසයක් මෙන්ම සුවඳක් ද ලැබෙනු ඇත.

පැණි දොඩම් ලෙල්ල ඔසුවක්

පැණි දොඩම් ලෙල්ලෙන් සකස් කරගන්නා ලද තෛලය ආලේපය වාත රක්තයට හා කකුල් ඉදිමුමට සුවදායකය.

ආහාර නිෂ්පාදනයෙහිලා දොඩම් ලෙලි ප්‍රයෝජනවත්ය

අයිස් දොඩම්, දොඩම් ජෙලි, ‘ඔරේන්ජ් බීම’ සැකසීමේදී දොඩම් ලෙලි විශේෂ වන අතර කැන්ඩීඩ් පීල් ලෙසින් කේක් වර්ග සඳහා ද යොදාගනී.

පලතුරු ඉදවීම සඳහා කෙසෙල් ලෙලි

පලතුරු ඉදවා ගැනීමට ඉදුණු කෙසෙල් ලෙලි උපයෝගී කරගත හැකියි. ඒ සඳහා කළයුතු වන්නේ ඉදවා ගැනීමට අවශ්‍ය පලතුරු කඩදාසි බෑගයක බහා ඒ තුළට ඉදුණු කෙසෙල් ලෙලි දමා වාතය ඇතුළු නොවන පරිදි කට ගැට ගසා හොඳින් එළිය වැටෙන ස්ථානයක තැබීම පමණි.

සපත්තු ඔප් නංවා ගැනීමට කෙසෙල් ලෙලි කදිමයි

සපත්තු පොලිෂ් ඉවර ද? එය ගැටලුවක් නොවේ. ඉදුණු කෙසෙල් ලෙලි ගෙන හොඳින් සපත්තුවල අතුල්ලා ඔප දමා අනතුරුව තුනී කපු රෙදි කඩකින් පිස දමාගන්න. කොහොමද ඔපේ? පොලිෂ් කළා හා සමානයි නේද?

කෙසෙල් ලෙලි ව්‍යංජනයෙහි ඔසු ගුණ

ආනමාළු, රත් කෙසෙල්, කෝලිකුට්ටු, ඇඹුල් ආදී කෙසෙල් වර්ගයන්හි ඉදුණු කෙසෙල් ලෙලි ව්‍යංජනයක් වශයෙන් පිළියෙළ කරගත හැකියි. ඖෂධීය ගුණයෙන් සපිරි කෙසෙල් ලෙලි ව්‍යංජනය මලබද්ධයට බෙහෙවින් ගුණ දෙන්නක් වන අතර අධි රුධිර පීඩනය, හෘද රෝග, වකුගඩු රෝග හා තරබාරුවීම වළක්වාලීමේ ගුණයෙන් ද යුක්තයි.

පැෂන් පෘට් ලෙලි

එතරම් ප්‍රකට නොවුව ද පැෂන් පෘට් ලෙලිවලින් ව්‍යංජන සහ දෝසි සෑදිය හැකිය.

 

2019/05/01 තරුණි බලන්න.