පාඩුවලට බය නම් ලාභ උපයන්න බැහැ

මැයි 29, 2019

සොබාදහම නිර්මිත සියල්ලටම රිද්මයක් ඇත. මිනිස් ජීවිතය ද ඒ රිද්මයට අනුගතය. ඒ නිසාම අපි ජීවිතයේ විවිධ අවධීන් පසුකර යෑම සොබාදහමේ රිද්මයට අනුගතය. එය අපට වෙනස් කළ නො හැකියි.

එහෙත් අපට එක් දෙයක් කළ හැකියි. එනම් අප දිනෙක මිය ගිය ද අපේ නම මෙලොව රඳවා යාමය. සාර්ථකත්වයට පත්වූ එහෙත් අද ජීවතුන් අතර නැති මිනිසුන් ගැන බොහෝවිට ඔබට අප කියා ඇත. ඒ පෙරකී වර්ගයේ මිනිසුන්ය. ඔබට ද එවැනි අයෙක් විය හැකියි. ඒ සඳහා ඔබත් සාර්ථක පුද්ගලයෙක් වන්න අදිටන් කරගන්න.

ඇසුරු කරන්නේ කවුද?

ජෙෆ් බෙසොස් එවැනි පුද්ගලයකු බව ඔබ දනී. ඔහු ඔබට කියන්නේ සාර්ථක පුද්ගලයකු වන්නට උවමනා නම් ඔබ ඇසුරු කළ යුත්තේ විචක්ෂණශීලී හෙවත් උපායෙහි දක්ෂ පුද්ගලයන් බවයි. ඔබ එසේ නොවන පුද්ගලයන් ඇසුරු කරන්නේ නම් ඔබේ කෙටි ජීවිතය තවත් කෙටිවන බවයි. එනම් කිසිම වැඩකට නැති පුද්ගලයන් ඇසුරේ රැඳී හිඳීම ජීවිතය වඩාත් කෙටි කරන බවයි.

‘Life’s too short to hang out with people who aren’t resourceful’ මෙහෙම කියන්නේ ජෙෆ් බෙසොස්.

එපමණක් නොව එය ඔබේ ජීවිතයට ද අගනා කියමනකි. ඔබ ඇත්තටම දන්නවා අපේ ජීවිතය බොහොම කෙටියි කියලා. ඒ වගේම අපිට කුමන මොහොතක ජීවිතයෙන් සමුගන්න වෙයි ද දන්නෙත් නැහැ. එහෙමනම් අපි නොපමාව වැඩ කළ යුතුයි. සාර්ථක පුද්ගලයක් වන්නට හැකි මාර්ගයක් සොයාගෙන ඒ මාර්ගයේ ගමන් කළ යුතුයි.

ඒ නිසා අපි ඇසුරු කරන අය අපේ ජීවිතයේ සාර්ථකත්වයටත් හරිම වැදගත්. ඒ මොකද කියනවා නම් අපේ සාර්ථකත්වයට ඔවුන්ගේ ඇසුරත් බලපානවා.

ඒ නිසා පළමුව ඔබ යායුතු පාර තීරණය කරන්න.

ඒ පාරේ යන්නට නම් ඔබ ඇසුරු කළ යුත්තේ කවුරුන්දැයි අවබෝධ කරගන්න. නිතරම අසුබවාදීව හිතන, ජීවිතය දෙස ධනාත්මකව සිතන්නට නොහැකි අය ඇසුර ඔබේ ජීවිතය ද ඒ දෙසට යොමු කරවයි. හැමවිටම නරකම දකින, නිතරම අලසව ඉන්න අය ඇසුරත් ඒ වගේම හානිකරයි. එපමණක් නොවේ ඔබ යන මඟ අසුරන්නට බලාගෙන ඉන්න අයගෙනුත් ඔබට වන්නේ හිරිහැර පමණයි. සමහරු ජීවත්වන්නේ තාවකාලික සතුටක් ලැබීමේ අරමුණින් පමණයි.

එහෙම අයගෙනුත් ඔබට වෙන්නේ අවැඩක්.

දැන් බලන්න, ඔබට හොඳට ඉගෙන ගන්න ඕනෙ නම් විභාග පාස් කරන්න ඕනේ නම් ඔබ ඇසුරුකළ යුත්තේ ඉගෙනීමට කැමැති ඒ සඳහා දක්ෂ අයයි.

එහෙම නැතුව ඔබ ඇසුරු කරන්නේ කම්මැළි අදක්ෂයන් නම් ඔබ ගේ අරමුණ ඉටුකරගන්න වෙන්නේ නැහැ.

ඔබ ව්‍යාපාරයක් කරන්න හිතනවා නම් ඒ සඳහා දිරිදෙන අලුත් අදහස් ඇති පුද්ගලයන්ගේ ඇසුරට පත්වන්න.

එවිට ඔබේ අරමුණ වෙත යාම පහසු කරයි. අලුත් අදහස් සහිත, අවදානම් දරන්න කැමැති, වැරැදෙනවට බිය නැති පුද්ගලයන් තෝරාගෙන එවැනි අය නිරන්තර ඇසුරට පත්කර ගන්න.

අවදානම් දරන්න පුළුවන්ද?

සාර්ථකත්වය ගැන හිතන අයෙක් නම් ඔබට අවදානම් දැරීමට සුදුසු ශක්තිමත් හිතක් තියෙන්න ම ඕනෙ. දැන් බලන්න, අන්තර්ජාල වෙළෙඳාම කියන්නේ බොහොම අවදානම් ව්‍යාපාරයක්. හදිසියේ අන්තර්ජාලය බිඳවැටුණොත් ඒ ව්‍යාපාරයත් ඉවරයි නේද? අපිට මේ අන්තර්ජාලය ගැන සියයට සියයක් විශ්වාසය තියන්න බැහැ. හෙට දවසේ දී මේ අන්තර්ජාලයට කුමක් වෙයිද? සම්පූර්ණයෙන්ම මේ පහසුකම බිඳ වැටෙන්න පුළුවන්.

පසුගිය දවස්වල ගූගල් සමාගම හුවාවි දුරකථන සමාගමට සීමා තහංචි පැනවූවා. එමඟින් හුවාවි වෙළෙඳපොළ බොහෝදුරට බිඳවැටුණා. දැන් කවුරුත් හුවාවි ෆෝන් ගන්න කැමැති නැහැනේ. හෙට දවසේ දී හුවාවි සමාගම තමන්ගේ දුරකථන පද්ධතිය වෙනුවෙන් ගූගල්වලට සමාන යෙදුම් මෘදුකාංග සොයාගන්නත් ඉඩ තියෙනවා. එහෙමනම් මේ සියලු අවදානම් දැනගෙන තමයි හුවාවි සමාගම දුරකථන නිෂ්පාදනය කළේ. ඒ අවදානම ඔවුන් දැන් දරාගෙන ඒකට මුහුණ දෙන්න උපාය මාර්ග සැලසුම් කරනවා ඇති.

ඉදිරි දිනවල දී අපිට එය දැනගන්න පුළුවන් වේවි.

ජෙෆ්ගේ අන්තර්ජාල වෙළෙඳාමටත් හෙට දවසේ දී මෙවැනි අභියෝග තියෙනවා. ඒත් ජෙෆ් ඒ අවදානම දරන්න සූදනම් වෙලා තමයි තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කළේ. ඔහු එයට බියේ හිටියා නම් අද මේ අන්තර්ජාල වෙළෙඳාම කියන එක මේ වෙනකොටත් බිහි නොවුණු දෙයක් වෙන්න තිබුණා. ඒ නිසා අවදානම කියන දේ සාර්ථකත්වය සමඟ එකට බද්ධ වුණු දෙයක්.

අද ලෝකයේ අංක එකේ ධනවතා වූ අමෙරිකන් ඩොලර් මිලියන සියයක වත්කම් ඉපැයූ ලොව පළමු පුද්ගලයා හෙට දවසේ දී කිසිදු වත්කමක් නැති පුද්ගලයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් අපි ඒ දේ ගැන හිත හිතා ඉන්න හොඳ නෑ.

අවදානම දරන්න හිත හදාගෙන අද කළ යුතු දේ අදම කරන්න. එය හෙට දවසේ දී ඔබ සාර්ථකත්වයට පත් කරන්නට හේතු වේවි. පාඩුවලට බයේ ලාභ උපයන්න බැරි බව ඔබේ හිතට තේරුම්කර දෙන්න.

ඒ හින්දා පාඩු වුණත් ඇදගෙන වැටෙන්න එපා. අද වැටුණොත් අයෙත් නැගිටින්න උත්සාහ කරන්න. ඇදගෙන වැටෙනවා වගේම නැගිටින්නත් පුළුවන්.

කුඩාවට අරඹන්න පසුව පුළුල් කරන්න

සමහරු කුඩාවට දෙයක් අරඹන්න කැමැතිම නැත. හැම විටම සිතන්නේ වඩාත් විශාලව අරඹන්නයි. එලෙස විශාලව අරඹන්න හිතන අයට කිසිකලෙක ඒ දෙය අරඹන්නට හැකිවන්නේ නැත. විශාලව අරඹන්න විශාල පිරිවැයක්, විශාල සේවක පිරිසක්, විශාල ඉඩකඩක් ආදී බොහෝ දේ අවශ්‍ය වේ. එහෙත් කුඩාවට අරඹන්නට තැනක් අවශ්‍යම නැත. සේවකයන් ද අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ කුඩා පිරිවැයක් පමණයි.

එලෙස අරඹන ව්‍යාපාරයක් අසාර්ථක වුවත් විශාල පාඩුවක් නැත. එහෙත් විශාලව ඇරැඹි ව්‍යාපාරයක් ආරම්භ කළ අවදියේම බිඳ වැටුණොත් දරාගත නොහැකි පාඩු සිදුවිය හැකියි.

ඔබ නො දන්නවාට අද රූස්ස ගස් මෙන් වඩාත් විශාලව දැකගත හැකි බොහොමයක් ව්‍යාපාර ඇරඹී ඇත්තේ බොහෝ කුඩාවටය. ඒවා ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් අද මහා පරිමාණ ව්‍යාපාර බවට පත්වී ඇත. එමෙන්ම එම ව්‍යාපාර ස්වයං රැකියා ලෙසින් ඇරැඹි තනි ව්‍යාපාරය. නැත්නම් දෙදෙනෙක් එක්ව ඇරැඹූ හවුල් ව්‍යාපාරය.

ජෙෆ්ගේ ඇමේසන් කොම් දෙස බලන්න. පළමුව එය ආරම්භ කළේ පොත්පත් අලෙවි කිරීමය. එහෙත් එය අදවන විට දහස් ගණනක් දේවල් අන්තර්ජාලය හරහා අලෙවි කරයි. ආරම්භක අවස්ථාවේ හිටියේ ජෙෆ් පමණයි.

එහෙත් අද ලක්ෂ ගණනක සේවකයන් ඇත. ගොඩනැගිල්ලක් නොතිබූ අතර ජෙෆ් භාවිත කළේ නිවෙසේම කොටසකි. එහෙත් අද ලොව පුරා විසිරුණු ගොඩනැගිලිය. ඒ නිසා පළමුව කුඩාවට අරඹන්න. පසුව විවිධාංගීකරණය කරන්න.

 

ඔබට ජය නියතයි!