දරුවන්ගේ සිත් ගත් සුන්දර කාමරයක්

ජුනි 12, 2019

දරුවන් ලොකු වෙන්නේ අපටත් හොර රහසේ.. පාසල් යන වයසේ දරුවන්ට වෙනම කාමරයක් සකසා දීමට පුළුවන් නම් එහි වටිනාකම් කිහිපයක් ම තියෙනවා. විශේෂයෙන් ම දරුවන් ස්වාධීන කිරීමට මුල්ම පදනම මෙයින් දැමිය හැකියි.

දරුවන්ට ලස්සන කාමරයක් සැකසීමට අදහස් කරන ඔබට අපි ඉදිරිපත් කරන මේ කාමර මඟින් අදහස් ලබා ගත හැකියි. ඔබේ දරුවා තනිව කාමරයක සිටීමට කැමැත්තක් නොදක්වයි නම් ඔහුගේ සිතැඟි පරිදි ලස්සන කාමරයක් සකසා දිය හැකියි. ඒ සඳහා සුරංගනා කතාවක පරිද්දෙන් අලංකාර ස්ටිකර් බිත්තිවල අලවා සැරසිලි, සිවිලිම් මෝස්තර ආදියෙන් කාමරය සැරසිය හැකියි. විසිතුරු විදුලි බල්බ කවර මඟින් ද කාමරයට අලංකාර පෙනුමක් ලබා ගත හැකියි.

එමෙන්ම වැඩි ඉඩකඩක් නැති නිවෙසක වුවත් කුඩා ඉඩකඩක ලස්සන කාමරයක් සකසා ගන්න මෙහි දැක්වෙන ඇතැම් කාමරවලින් ඔබට අදහස් ලබා ගත හැකියි. කබඩ් පේලියක් සකසා එය උඩින් මෙට්ටයක් දමා ඇඳක් සේ සකසා ගැනීමටත් බිත්තියට ම සවිකර ගත් අල්මාරියක් හා කබඩ් සැකසීමත් මඟින් කාමරයේ සීමිත ඉඩකඩ මනාව කළමනාකරණය කරගෙන ඇත. මෙය අද කාලයේ සීමිත ඉඩකඩක සකසන නිවෙස්වල දරුවන්ගේ කාමර සැකසීම සඳහා යොදා ගත හැකි කදිම අදහසකි.

එක් මාතෘකාවක් මත කාමරය සැකසීම හා සැරසීම ද ඔබට සිදු කළ හැකියි.