කළු වෙච්ච අපේ සුදු වෙච්ච මුහුණු

ජුනි 12, 2019

ගැහැනිය-ස්ත්‍රිය-කාන්තාව-මහිලාව

මේ ඔක්කොම ගැහැනියට පර්යාය පද. මේ ඕනම වචනයක් කියනකොට ඒ හා සමානව වැඩිපුරම කියවෙන අනෙක් වචනය මොකක්ද ? ලස්සන. අන්න ඒ වචනය තමයි වැඩිපුරම කියවෙන්නේ. කියන්නේ.

ලස්සන කියන්නෙ මොකක්ද? සමහරු ලස්සන කියනවා සුදට. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ලස්සන කියන්නේ සුද නෙමෙයි. සුදු හම නිතර ලස්සන නැහැ. ලස්සන කියන්නේ සමෙහි නිරෝගී බවට. තෙතමනයට. හැබැයි සමාජය ඉල්ලන්නේම සුදු හම. සුදු හමට ඇත්තටම හොඳ මාර්කට් එකක් තියෙනවා. එතකොට තලෙළු හම. දන්නව ද? ලස්සනම පැහැය තලෙළු පැහැය. හැබැයි අපේ සමාජය ඇතුළේ මේ පැහැයට වටිනාකමක් නැහැ හරියාකාරව.

සරල උදාහරණයක් කියන්නම්, නිකමට බලන්න. ඕනෑම නගරයක් ගන්න. ඒ නගරයේ රූපලාවණ්‍යාගාර කීයක් තියෙනවා ද බලන්න. අඩුම එකක් හරි තියෙනවා. සමහර තැන්වල අඩියෙන් අඩියට තියෙනවා. ඇයි මේ. සරලයි. ගැහැනු උපතින්ම ලස්සන වෙන්න ආස කට්ටියක්. ගැහැනු කියන්නෙම ලස්සනේ ප්‍රතිමූර්තියක්. ඉතින් ගැහැනු තමන්ගේ හැඩය පවත්වා ගන්න මේවට යනවා. ඒකේ වරදක් නැහැ. ලස්සනට ඉන්න එක කොච්චර හොඳ ද? ආකර්ෂණීය ද? කොණ්ඩෙ ලස්සනට හදාගෙන ඇහිබැම පිළිවෙළකට තියාගෙන ආකර්ෂණීයව ඉන්න එක මම මාර විදිහට අගය කරනවා. හැබැයි ඒක නෙමෙයි ගැටලුව. අර සුදු වතේ උමතුව. සමහර අය ටැබ්ලට් බොනවා. සමහර අය ඉන්ජක්ෂන් ගහන්න යනවා. සමහරු බ්ලීචින් අඩංගු ක්‍රීම් ආලේපනය කරනවා. පිටින් බලන් ඉන්නකොට ඕක ඇත්තටම උමතුවක් වගේ පේන්නේ. මට නම් ඒක මහ විහිළුවක්.

සුදු වෙන්න කියලා ඔබ අද කරන එක ක්ෂණික ප්‍රතිකර්මයකින් දීර්ඝකාලීනව සිදුකරන බලපෑම ගැන හිතුව ද?

ඕන නම් හොයලා බලන්න. මාතර ප්‍රදේශයේ මීට අවුරුදු හතරකට පමණ උඩදී වුණ සිදුවීමක් මේක. දෙයියන්දර ප්‍රදේශයේ. ඒ කාලයේ මම රැකියාවේ පුහුණු කාලය ගත කළේ. ඒ ප්‍රදේශයේ. ඔය කාලයේ එක්තරා මරණයක් සිදුවෙනවා. එක් දරු මවක්. දරුවා ඉපදිලා අවුරුද්දක්වත් නැහැ. මේ අම්මා සුදුවෙන්න ඉන්ජක්ෂන් එකක් අරගෙන තිබුණා. ඒකේ ආසාත්මික තත්ත්වයක් එක්ක ඒ අම්මා මැරුණා. ඒ දවස්වල ලංකාවෙ කතාබහට ලක්වුණා මේක. මේ එකක් විතරයි. අනවශ්‍ය විදිහට සුදුවෙන්න ගිහින් අපි අපේ ජීවිතය ඔට්ටු අල්ලන්න ඕනද? අර දරුවට අම්මෙක් නැහැ. කොච්චර ඛේදවාචකයක් ද මේක?

 

 

2019/06/12 තරුණි බලන්න