පැහැබර හෙට දවසකට අත්වැල් බැඳගනිමු !

ජුනි 26, 2019

ශ්‍රී ලාංකේය අපට අතිශයින් වැදගත් පොසොන් පොහොය උදාවී මේ වනවිට සති දෙකකට වඩා ගෙවී ගිහින්. අනුබුදු මිහිඳු හිමියන්ගේ ලංකා ගමනයෙන් පසු බුදු හිමියන් දෙසූ ශ්‍රී සද්ධර්මයට අනුව අපේ රටේ දේශපාලනික, සංස්කෘතික වශයෙන් ඇතිවුණු පිබිදීම මේ පුංචි දිවයින ලෝකයේ ඉහළටම ඔසවා තැබීමට සමත්වූ බව නොරහසක්.

බුදු හිමි දෙසූ බුදු වදනට අනුව මේ විශ්වයේ සියලුම දේ අනිත්‍යය. අනිත්‍ය යන වචනයෙන් කියැවෙන්නේ කිසිම දෙයකට වෙනස් නොවී ස්ථීරව පවතින්නට නොහැකිය යන්නයි. ඒ අනුව මෙලොව වෙනස් නොවන එකම දෙය වෙනස්වීම පමණක් බව වටහා ගත හැකිය.

කාලය තත්පරයෙන් තත්පරය ගෙවී ගොස් මේ සියලු වෙනස්වීම්වලට ඉඩහසර ලබා දෙමින් වෙනස් වෙයි. 'තනතුරු'ද එසේමය.

ඒවා කුමන මොහොතක කුමන ආකාරයට වෙනස් වේදැයි කිව නොහැකිය. ඒ නිසා තනතුරක් දරන කෙනකුගේ වගකීම විය යුත්තේ එම තනතුරෙහි සිටින තාක් කල් එම තනතුªරට අදාළ කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමය. එහි ගෞරවය රැකෙන ලෙස කටයුතු කිරීමය. එවිට එම තනතුර බබළන්නේය. තනතුර බබළන විට එය දරන්නා බබළන්නේය.

මා මෙලෙස 'තනතුර' පිළිබඳව කතා කරමින් මේ සටහන ආරම්භ කරන්නේ 'තරුණී' පුවත්පතේ කර්තෘ පදවිය දරමින් ලක්ෂ සංඛ්‍යාත පාඨක ඔබ වෙනුවෙන් තබන පළමු සටහන මෙය බැවිනි.

'තරුණී' ලේක්හවුස් ආයතනයේ අභිමානවත් කාන්තා ප්‍රකාශනයයි. තරුණී කර්තෘ මණ්ඩලය සහ එහි කර්තෘ තනතුර මට ආගන්තුක නොවේ.

මීට වසර 20කට පෙර 1998 වසරේ මා තරුණී පුවත්පතට සම්බන්ධ වූයේ එහි නියෝජ්‍ය කර්තෘවරයා වශයෙනි. එදා ඉතා පහළ අලෙවි මට්ටමක තිබූ තරුණී වර්ණවත්ව, අලංකාරව, හරවත් අන්තර්ගතයකින් යුතු ශ්‍රී ලාංකේය කාන්තා පුවත්පත් ඉතිහාසයේ ඉහළම අලෙවි වාර්තා තබමින් ජනප්‍රියම කාන්තා පුවත්පත බවට පත්කිරීම උදෙසා දිවා රෑ නොබලා ඇප කැප වී මා ලබා දුන් දායකත්වය පිළිබඳව සිහිවන විට සිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි සතුටකි.

ඒ කළ කැප කිරීම නිසාම 2005 වසරේදී මට තරුණී සංස්කරණය කිරීමේ වගකීම පැවරුණත් එය නිසි ලෙස ඉටු කිරීමට විවිධ බලවේග හරස් විය. වෙනස් නොවන කිසිවෙක් ලොව නැත යන සනාථන දහම පිළිබඳව අවබෝධයෙන් සිටින මම වෙනස් වූයෙමි.

ඒ අනුව මම 2006 වසරේ ලංකාවේ අග්‍රගණ්‍ය ඉරිදා ප්‍රකාශනය වන 'සිළුමිණ' පුවත්පතේ 'රසඳුන' ටැබ්ලොයිඩ් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ වරයා වීමි. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු මෙන්ම පරිසරයට ආදරය කළ සොඳුරු මිනිසකු වූ දිවංගත ධර්මසිරි ගමගේ ශූරීන්ගේ සංස්කරණයෙන් ඇරැඹි 'රසඳුන' හි ගෙවූ සතුටින් පිරි වසර 10ක දීර්ඝ කාලයකට පසු 2016 වසරේ එහි කර්තෘ වරයා වෙමින් සිළුමිණ පාඨකයන් වෙත කලාවේ විවිධ ඉසව් ස්පර්ශ කරමින් එය සංස්කරණය කිරීමට මට හැකිවිය.

දශක තුනක් ඉක්මවූ මගේ පුවත්පත් කලා ජීවිතයේ (ලේක්හවුස් දිවියේ) මෙතෙක් මා වැඩිම කාලයක් සේවය කළ 'රසඳුන' ට සමුදෙමින් තරුණී සංස්කරණය කිරීමේ භාරදූර වගකීම ඉටුකරන්නට මට යළිත් අවස්ථාව උදාවිය. සැබැවින්ම මෙය භාරදූර වගකීමකි.

කවදත් අභියෝග හමුවේ ඉවසීමෙන් ඒවාට මුහුණ දෙමින් ඒවා ජයගෙන ඇති මම අද සිට ඒ සඳහා ඇප කැප වෙමින් මගේ උපරිම ශක්තියෙන් ක්‍රියා කරමි.

මෙය සැබැවින්ම අභියෝගයක් නොවන්නේ තරුණී කර්තෘ මණ්ඩලයේ සිටින සහෝදර සාමාජිකයන් පිරිසත් 'තරුණී' වටා රොද බැඳ සිටින ලක්ෂ සංඛ්‍යාත වූ ආදරණිය පාඨක ඔබත් නිසාය.

මංගල කලාපයේ සිට අද දක්වාම විවිධ කර්තෘවරුන්, කර්තෘවරියන් යටතේ සංස්කරණය වූ තරුණි අඛණ්ඩව මිලදී ගන්නා පාඨකයන් බොහෝ පිරිසකි.

යුවතියක ලෙස තරුණී සමඟ ළෙන්ගතු වූ එවන් පාඨකයන් මවක ලෙස, ගෘහණියක ලෙස, ජීවිතය ජයගන්නට, අපේ රටේ අනාගතය භාරගන්නට සිටින දරුවන් නැණ නුවණින් පිරි යහපත් දරුවන් ලෙස සමාජ ගත කරන්නට ගත් වෙහෙසට 'තරුණී' යහමඟ පෙන්වා දුන් බව දිනපතා ලැබෙන පාඨක ප්‍රතිචාර සාක්ෂි දරන්නේය.

රැකියාවක් නොකරන හෝ සාමාන්‍ය රැකියාවක සිට ඉහළම විධායක තලයේ රැකියා කරන හෝ වේවා මේ රටේ සමස්ත කාන්තා පරපුරේ ආදරය, සෙනෙහස, විශ්වාසය දිනා ගනිමින් තරුණී ඔවුනගේ ළඟම මිතුරිය, යෙහෙළිය, සොයුරිය, ගුරුවරිය පමණක් නොව විටෙක මවද වූ බව ඔවුන් සිහිපත් කරන්නේ ආදරයෙනි.

මෙතෙක් ඉටුකර ඇති ඒ ඓතිහාසික කාර්ය භාරය ඉදිරියටත් එසේම ඉටුකරන්නට මට යෝධ ශක්තියක් ලබාදෙන කර්තෘ මණ්ඩලයේ සියලුම දෙනා සිහිපත් කරන්නේ ඉතා ආදරයෙනි.

තරුණී පුවත්පත් කලාවේ මහගෙදර සොඳුරු දියණියයි. ඇය රුවින්, ගුණයෙන්, දැනුමින් පිරිපුන්ව එදා මෙදා තුර ආදරණීය පාඨක ඔබේ ළෙන්ගතු මිතුරිය, සොයුරිය වී සිටින්නීය.

ඉදිරියටත් ඇය ඔබේ ජීවිතයට වඩ වඩාත් ළංවෙමින් සමීපතම මිතුරිය, සොයුරිය වී ළඟින්ම සිටිනු ඇත.

ජීවිතය උදාවන තත්ත්පරයක් පාසා සතුටින් ගෙවිය යුතුය.

ලැබෙන සෑම අභියෝගයක්ම ජයගනිමින්, සෑම අවස්ථාවක්ම අර්ථවත් පලදායී එකක් බවට පත්කරගනිමින් 'වින්දනය' කළ යුතුය. එසේ නැතුව අප කිසිවෙක් ජීවිතය 'විඳවිය' යුතු නොවේ.

එනිසා ජීවිතය විඳවන්නට නොව විඳින්නට අපි ඔබට මඟ පෙන්වන්නෙමු. ඒ සඳහා ඉදිරියටත් අපි ඔබ සමඟ යෝධ සෙවණැල්ලක් සේ සිටින බවට සපථ කරමු.