ස්වර්ණ ජයන්තිය සමරන ‘තරුණී’ ආ ගමන් මඟ...

ජූලි 10, 2019

සවිය වී - දිරිය වීනුවණ වී - බලය වී ලබන්නට කතුන් අතර අබිසෙස්, පත්තර මහ ගෙදර විකසිත විය පියුමක්. එය නමින් ‘තරුණී’ විය. පියුමේ පෙති දිග හැරෙන්නේ 1969 වසරේ සිටය. මේ දිග හැරෙන්නේ අඩසියවසක අත්දැකීම් සමඟ පනස්වැනි පුෂ්ප පත්‍රයයි.

1963 ඇරැඹූ සරසවිය පුවත්පතේ එක් පිටුවක් වෙන්වූයේ කාන්තාවන් වෙනුවෙනි. පිටුවේ ජනප්‍රියකම නිසාම පත්තර මහ ගෙදර නියමුවන්ට කාන්තා පුවත්පතක් ගැන සිතක් පහළ විය. කාන්තා පුවත්පතට අයැදුම්පත් කැඳවිණි. තුන් සියයක් පමණ කාන්තාවෝ සම්මුඛ පරික්ෂණයට පැමිණ සිටියහ. ඒ අතර පැට්‍රීෂියා අමරසේකර, නෙළුම් ප්‍රනාන්දු, නන්දනී මෛත්‍රීවර්ධන යන තරුණියන් ද විය.

සම්මුඛ පරීක්ෂණ ගණනාවක් පැවැත්විණි. අයදුම්පත් කැඳවූවන්ගේ සිංහල දැනුම මෙන්ම ඉංග්‍රිසි දැනුම ද පිරික්සා බැලිනි. නෙළුම් ප්‍රනාන්දු සම්මුඛ පරික්ෂණය සමත්වීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි ජේ. බී. එස්. ගෝමස් මහතාගෙන් යොමුවූ එක් පැනයක් හේතු විය.

“කාන්තාවක් කොච්චර කාලයක් ලස්සනට අඳින්න ඕනද?” ඇයට යොමුවූ පැනයයි. “මැරෙනකම්ම ලස්සනට අඳින්න ඕන” ඇය දුන් පිළිතුරයි. “ඔයත් එහෙම අඳිනවද?” “ඔව්” තරුණිය නොපැකිළව පිළිතුර දුන්නාය. “අපි ඔයාව තෝරාගත්තා” සුබ ප්‍රතිචාරයක් සැණකින් ලැබිණි. කාන්තා පත්තරය ගැන එහි නිර්මාතෘවරයන්ගේ හද ගැස්ම කෙබඳුදැයි ඒ පැනයෙන් සහ පිළිතුරට ලැබුණු ප්‍රතිචාරයෙන්ම සිතා ගත හැකිය. අමරණීය තාරුණ්‍යයකට හිමිකම් කියන කාන්තා පුවත්පතට පැට්‍රීෂියා, නෙළුම්, නන්දනී තෝරා ගැනිණි. ඔවුනට සේවය වාර්තා කිරීම සඳහා අප්‍රේල් 1 වැනි දිනට ලේක්හවුසියට පැමිණෙන ලෙස ඇරැයුම් ලැබිණි. එහෙත් තරුණියන්ට මෙය උභතෝකෝටික පැනයක් විය. අප්‍රේල් 1 වැනිදා මෝඩයන්ගේ දිනය ලෙස ප්‍රකටය. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවන් නිසා ඒ වන විටත් මිතුරියන් වී සිටි පැට්‍රීෂියා සහ නෙළුම් දෙදෙනාටම පැමිණීමට නියමිත අප්‍රේල් 1 වැනිදා ලෙස සඳහන් කර තිබීම නිසා මේ මෝඩයාගේ දිනයේ විහිළුවක් නොවන බව දුරකතනයෙන් කථිකාකර දැනගත්හ. පත්තර කලාවේ ‘අ’ යන්නවත් නොදැන තරුණියෝ තිදෙනා අප්‍රේල් 1 දින පත්තර මහ ගෙදරට පැමිණියහ.

කතුවරයා වූයේ වියපත් මාධ්‍යවේදියකු වූ හික්කඩුවේ ශ්‍රී ලාල් ලියනගේ මහතාය. ඔහු තරුණියන්ගෙන් පුවත්පතට නම් ඉල්ලා සිටියේය. ‘ලලනි’, ‘වනිතා’ ආදී වශයෙන් විවිධ නම් තරුණියෝ ඉදිරිපත් කළහ. එහෙත් ඒ වන විටත් ලියනගේ මහතා කාටත් හොරා නමක් තෝරා ගෙන තිබිණි. ඒ ‘තරුණී’ නාමයයි. ඝන පිහිටුවා නක්ෂත්‍රානුකූලව තබන ලද ‘තරුණී’ නාමයෙන් ඇරැඹුණු කාන්තා පුවත්පත කිසිදා වැසී නොයන පුවත්පතකි. පුවත්පත් ක්ෂේත්‍රයේ කෙතරම් ගැටලු පැවතුණත් ‘තරුණී’ සැමදා පාඨක ලොව තරණය කරන්නේ එනිසාය.

ලියනගේ මහතා ඉතා සැරපරුෂ පුද්ගලයකු විය. නවක මාධ්‍යවේදිනියන්ට අසල කර්තෘ මණ්ඩලය වූ මිහිර කතුමඩුල්ලේ කතුතුමිය වූ අනුල ද සිල්වාගෙන් ලැබුණේ මහත් වූ සහයෝගයකි. පසුකාලීනව අනුල ද සිල්වා මහහත්මිය ද තරුණී මුල් පුටුව හෙබවීමට වරම් ලැබුවාය. නැකැතට 1969 ජූලි 9 වැනිදා තරුණී මුද්‍රණය විය. කිරිබත්, කැවුම්, කොකිස්වලින් සප්පායම් වී මංගල කලාපය නිකුත් වීමේ සතුට සියල්ලෝ බෙදා හදාගත්හ.

මෙසේ මංගල පියවර තැබූ ‘තරුණී’ සිය විජයග්‍රාහී ගමන ඇරැඹුවාය. තරුණී නෞකාව සත්සයුර පරයා තරණය කරවීමට පැමිණි නියමුවන් රැසකි. ඉන් සුවිශේෂී චරිත ත්‍රිත්වය වන්නේ පූජිත විජේතුංග, සුමනා සපරමාදු සහ ගාමිණී සමරසිංහ යන කතුවර කතුවරියන්ය.

ලාංකේය පුවත්පත් කලා ඉතිහාසයේ ලක්ෂය ඉක්මවා අලෙවිවූ පළමු පුවත්පත ‘තරුණී’ය. ‘ලස්සන තරුණී’ තරගය, ඉපැරැණි රජ කෑම ආදී විශේෂාංග තරුණී තාරුණ්‍යය ඔප් නැංවීය. ඒ පූජිත විජේතුංග මහතා කර්තෘධූරය දරූ කාලයේය.

ලියුම්කාරිය වන අපහට තරුණී ඊළඟ චරිතය සුවිශේෂීය. ඒ සුමනා සපරමාදු (සරදු) මැතිණිය කතුවරිය වී සිටියදී තරුණීට අත්පොත් තැබු නිසා පමණක් නොවෙයි. තරුණී මුල් පුටුව වැඩිම කාලයක් හෙබවූයේ ඇය නිසාය. තරුණී පනස්වසක ඉතිහාසයේ එහි හද ගැස්ම, කොඳු නාරටිය ඇය බවට ඇති සාක්ෂි අපමණය.

කාන්තා පුවත්පතක කර්තෘ ධූරය වඩාත් සාර්ථකව හෙබවිය හැක්කේ පිරිමියකුට බවට ඇති මතය මිථ්‍යාවක් බව ක්‍රියාවෙන්ම ඇය ඔප්පු කළාය. තම පුවත්පතේ සුබසිද්ධිය පතා සභාපතිවරුන් සමඟ වාග් සංග්‍රාමයන් දියත් කර ඉල්ලීම් විජයග්‍රහණය කළ කොන්දක් ඇති කතුවරුන් ලේක්හවුසියේ සිටියේ, සිටින්නේ අතලොස්සකි. ඇය ඔවුන් අතර කැපී පෙනෙන චරිතයක් වූවාය. ‘සපරමාදු මිසී’ යනුවෙන් ආයතනයේ ඉහළ, පහළ ස්ත්‍රී පුරුෂ සැම දෙනා ගෞරවාන්විත ලෙස ඇමතූ මේ මාධ්‍ය වීරවරිය යටතේ වසරක් මාධ්‍යවේදියකු මාධ්‍යවේදිනියක අත්දැකීම් ලැබුවා නම් එය විශ්ව විද්‍යාල සියයකින් ලබන දැනුමට සම විය.

සපරමාදු මැතිණිය ‘තරුණී’ කාන්තාව වෙනුවෙන්, මැති සබයේ පෙනී සිටින ඇමැතිනියකට ද වඩා මෙහෙයක් කරන පුවත්පතක් බවට පත් කළේ විවිධ විශේෂාංග මඟිනි. වරක් සමුද්‍රදේවි දුම්රියේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු ගැන පුවත්පතින් කළ කතාබහේදී විශේෂාංගය සැපයූ ලේඛිකාව සමුද්‍රදේවි මගීන්ගෙන් පහර නොකා බේරුණේ අනූනවයෙනි.

‘තරුණී’ට මුලින්ම ‘අතිරේක’ එක් කළේ ඇයය. ප්‍රජනක සෞඛ්‍ය යන වචන දෙක පවා ඇසැබි යැයි සැලකූ යුගයක ඇය නොබියව යොවුන් පෙළ ප්‍රජනක දැනුමින් සන්නද්ධ කළාය. ගම්දනව් සිසාරා ‘තරුණී’ වටා බාල, තරුණ, මහලු භේදයකින් තොරව පාඨක කැල රොද බැඳ ගත්තේ තරුණී පොළ, සයිකල් ශූරියෝ දිරිය කතුන්ට සැබෑ ශක්තියක් ජීවයක් වූ බැවිනි.

තරුණී රිදී ජුබිලිය සපුරන විට හැත්තෑ දෙහැවිරිදි සපරමාදු මිසී එල්ෆින්ස්ටන් වේදිකාවේ තරුණී කතුතුමිය ලෙසින් ලැබුවේ සුපිරි සිනමා තාරකාවකට ද වඩා අසීමිත ආදරණීය පාඨක ප්‍රතිචාරයකි.

වඩයක් කා තේ කෝප්පයක් බී නොබලා දිවා රෑ පුවත්පත වෙනුවෙන් කැපකළ සපරමාදු මිසී ‘තරුණී’ ගෙන් සමු ගත්තේ පැට්‍රීෂියා අමරසේකරට තරුණී මුල් පුටුව බාර දෙමිනි. නම පැට්‍රීෂියා වුවත් එය ඉංග්‍රීසි ඌරුවක් ගත් නමක් නිසා හික්කඩුවේ ශ්‍රී ලාල් ලියනගේ ශූරීන් ඇයගේ නම පත්තර කලාවට ගැළපෙනසේ ඉඳුනිල් අමරසේකර ලෙසින් වෙනස්කර තිබිණි. ඒ යුගයේ පුවත්පතේ සිටි තවත් දිරිය මාධ්‍යවේදිනියක වූයේ සෝමා දේවි පරණයාපාය. ඇය පිළිකා රෝගයෙන් පීඩා විඳිද්දී කිමෝතෙරපි ප්‍රතිකර්මය නිසා තට්ටය පැදුණු හිස, ස්කාෆයකින් වසාගෙන ලේක්හවුසියට පැමිණියාය. ඉඳුනිල් අමරසේකර මහත්මිය කර්තෘ ධූරය දරද්දී තරුණී ප්‍රථම නියෝජ්‍ය කතුවරිය ලෙස ප්‍රබෝදනී ද සිල්වා මහත්මිය පත්වූවාය.

උපාලි ෆොන්සේකා, චන්ද්‍ර වීරවර්ධන වැනි ඡායාරූප ශිල්පින්ගේ තෙවැනි ඇසින් පත්තරයේ අලංකාර වෙද්දී රේණුකා අල්විස් තරුණීට දායාද වූයේ තරුණී ඡායාරූප ශිල්පිනිය ලෙසින් පමණක් නොව ලේක්හවුසියේ පළමූ ඡායාරූප ශිල්පිනිය බවට ද පත්වෙමිනි.

පසුකාලීනව වාණිජකරණයත් සමඟ තරුණී ද යුගයෙන් යුගයට වෙනස් විය. ධර්මා එස්. සමරනායක, ගාමිණී සමරසිංහ, ඉඳුනිල් වීරරත්න, ඇන්ටන් සැම්සන් යන කතුවරු කතුවරියන් යටතේ අපට ද පන්නරය ලැබීමේ වාසනාව උදාවිය. ඉන්පසු මනෝලි සුබසිංහ කර්තෘ ධූරයට පත්වූවාය. මේ කතුවරුන්ගෙන් ගාමිණී සමරසිංහ මහතා සුවිශේෂී වන්නේ දෙවරක්ම ‘තරුණී’ අලෙවියෙන් වැඩිම කාන්තා පුවත්පත ලෙස අලෙවි කිරීමට තරම් තරුණී ආකර්ෂණීය කිරීම නිසාය. ඔහු ද පුවත්පතේ අභිවෘද්ධිය පතා පරිපාලනයට නොබියව ඉල්ලීම් ඉදිරිත් කළ අති දක්ෂ පුවත්පත් කතුවරයෙකි.

තරුණී රිදී ජුබිලිය සමරද්දී සපරමාදු මිසීගේ අතුරු මිතුරු, තරුණී කර්තෘ මණ්ඩලයේ සිටි මම එහි ස්වර්ණ ජයන්තියේදී නියෝජ්‍ය කර්තෘ ධූරය හෙබවීමට තරම් වාසනාවන්ත වීමි. පාසල් වියේ සිට තරුණීට ලියා තරුණියේ ලද පන්නරයෙන් කාන්තා පුවත්පතකට (තරුණීට) සෞඛ්‍ය ලිපි වෙනුවෙන් වැඩිම සම්මාන ගණනක් හිමිකර දීමට හැකිවීම මා ලද භාග්‍යයකි.

මේ අප සුමිතුරාණන්වන කර්තෘධූරය හොබවන ඉඳුනිල් වීරරත්නයන්ගේ මෙන්ම අපගේද ‘තරුණී’ පුනරාගමනයයි. එය ‘තරුණී’ ස්වර්ණ ජයන්තියේදී සිදුවීම දෛවයේ හාස්කමකි. අප දෙදෙනාටම ‘තරුණී’ සමඟ ඇති නෑකම කිසිවකුට බිඳ දැමිය නොහැකි තරමට ශක්තිමත්ය. එය අපට මෙන්ම පාඨක ඔබට ද පොදුය.