බොහෝ පවුල් අවුල් කර දමන දුරකථනයෙන් ආදරය සවිමත් කර ගන්න

ජූලි 17, 2019

ජංගම දුරකථනය දිගින් දිගටම නාද වෙයි. තරංග නෑසුණාක් සේ සිටින විට චතුරිකාගේ සැකයේ ගිනි පුපුර කෝපයත් සමඟ උණුසුම් වන්නට පටන් ගනී. අඹු සැමියන් ගිනි කඳු බවට පත් වෙයි. අවසානයේ ඉතිරි වන්නේ දික්කසාදය නම් අළු ගොඩයි. එහෙත් එය එසේ විය යුතුද?

යුග ජීවිතයට ගිනි අවුළන බවට විශ්වාස කරන ජංගම දුරකථනය සාමයේ පරවියා ලෙසින් ද යොදා ගත හැකිය.

බ්‍රිතාන්‍ය කොළොම්බියා සරසවියෙන් මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ යුග ජීවිතය සවිමත් කිරීමට දුරකථනය යොදා ගත හැකි බවය. ඒ නිතර දුක සැප විමසීමෙන් පමණක් නොවෙයි.ඹ

* විශ්වාසය පෙන්නුම් කරයි

සැමියා ඕනෑම අවස්ථාවක කිසිදු චකිතයකින් තොරව සිය දුරකථනය බිරිය අතට දෙනවා නම් ඒ බිරිය හදවතින්ම විශ්වාස කරමිනි. බිරිය සැමියාට සිය දුරකථනය දෙනවා නම් ඒ සැමියා ගැන පූර්ණ විශ්වාසයෙනි.

* විනිවිදභාවය සහතිකයි

දුරකථනය සැමියා විසින් ලබා දීම තමන්ට සැඟවීමට ඔහු වෙත කිසිවක් නැති බව අඟවන ලකුණකි.

* ශක්තිමත් ආදර සබඳතාවක්

දුරකථන හරහා හුවමාරු වන පණිවුඩයක් වසර ගණනක විවාහ ජීවිතය දෙදරුම් කෑමට හේතු වනවා නම් ඒ ශක්තිමත් පදනමක් යුග දිවියට නැති නිසාය. සවිමත් සෙනෙහස් බැම්මක් එක් සැක සහිත පණිවුඩයකින්, ඇමතුමකින් දෙදරා යන්නේ නැත.

* ඊර්ෂ්‍යාව අවමයි

දෙදෙනාට දෙදෙනාගේ ජංගම දුරකථනය ඕනෑම අවස්ථාවක හුවමාරු කර ගත හැක්කේ ඊර්ෂ්‍යාවට සුළු හෝ ඉඩක් තබා නැති හෙයිනි.

දුරකථනය යුග දිවියේ සතුරකු වන්නේ එය සැමියා වැරැදි ලෙසින් භාවිත කළ විටය. සහකරු / සහකාරිය දුරකථනයේ වැඩි වේලාවක් රැඳී සිටීම අනෙකාගේ නොරිස්සුම් සහගත බව, කෝපය අවුලාලන්නකි. එවන් විටක සැමියාට හෝ බිරියට තමන් ප්‍රතික්ෂේප කළා වැනි හැඟීමක් ඇති වීම අස්වාභාවික නැත.

දෙදෙනාගේ කතාබහේදී, ප්‍රේමණීය මොහොතකදී, ආහාර ගන්නා වේලාවකදී දුරකථනය භාවිත කළ යුත්තේ දැලි පිහියෙන් කිරි කනවාක් මෙනි. රාජකාරි වශයෙන් හෝ වෙනත් වැදගත් හේතුවකට ලැබෙන ඇමතුම් ගැන, පණිවුඩ ගැන එකිනෙකා ඉවසීමට පුරුදු විය යුතුය.

දෛනිකව යම් කාලයක් (උදා: කෑම වේලාව හෝ රාත්‍රී 9.30 ට පසු) ස්මාට් දුරකථනයෙන්, පරිගණකයෙන් තොර අඩවියක් බවට නිවෙස පත්කර ගැනීම වැදගත්ය. (ටෙක්නොලජි ෆ්‍රී සෝන්ස්) එවිට ජංගම දුරකථනය, පරිගණකය, ටැබ් මිතුරන් කර ගැනීම අපහසු නොවෙයි.