“රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව” ලාංකේය සමාජයේ තියෙන කියමනකි. ඊර්ෂ්‍යාව ඒ තරම් බලවත්ය. ඇස්වහ කටවහ බොහෝ දෙනා විශ්වාස කරන දෙයකි. ඇස්වහ කටවහවලින් මිදෙන්න පැරැන්්නන් විවිධ වත්පිළිවෙත් සිදු කර ඇත. මිරිස් පිච්චිම, ළදරුවන්ගේ නළලෙහි මොට්ටු තැබීම, පංචායුධ පැලදීම ආදි ක්‍රම සිදු කරයි.
නුතන විලාසිතා ලෝකයේ Evil Eye නැතිනම්, නපුරු ඇස සහිත ආභරණ කාන්තාවන් අතර ජනප්‍රිය වී ඇත. තමාට ඊර්ෂ්‍යා කරන නපුරු ඇස්වලින් මිදෙන්නට Evil Eye සහිත ආභරණ නිර්මාණය විය. මාල, පෙන්ඩන්ට්, වළලු, කරාබු, මුදු සහ බිත්ති සැරසිලි ලෙස දකින්නට ලැබේ. මෙවැනි ආභරණ පැලඳීම ලංකාවේ තරුණියන් අතර ජනප්‍රිය විය.
මොකක්ද මේ නපුරු ඇස කියන්නේ, බොහෝ දෙනා මෙය පැලඳ සිටියද නියම අර්ථය හෝ ආරම්භය ගැන නොදනී. නපුරු ඇස, පුද්ගලයකු ඊර්ෂ්‍යාසහගත බැල්මෙන් එල්ලවන ශාපය ගැන පවතින විශ්වාසයකි. ප්ලූටාර්ක් (Plutarch) වැනි ඉපැරණි දාර්ශනිකයන් පවා නපුරු බැල්ම ගැන සඳහන් කරයි.
කෙනකුගේ සිතේ හටගත් ඊර්ෂ්‍යාව හෝ ද්වේෂය ඒ කෙනාගේ ඇසින් දැකිය හැකිය. එම නපුරු බැල්ම තවත් පුද්ගලයකුට අවාසනාව ගෙන දේ. නපුරු ඇසට ලක්වන පුද්ගලයාගේ දේපළ විනාශ වීම, අසනීප හෝ විපත් ඇති විය හැකි බවට විශ්වාසයක් පවතී. පුද්ගලයකුගේ නපුරු බැල්ම පැමිණෙන ඍණ ශක්තිය, පලවා හැරීමට නපුරු ඇස සංකේතයට හැකි වේ. නපුරු ඇස තලිස්මන් ලෙස ද ක්‍රියාකරන බවට ඇතැමුන් පවසයි.
මෙය වසර 5,000කට වඩා පැරණි ග්‍රීක ශිෂ්ටාචාරය දක්වා දිවයන සංකල්පයකි. ග්‍රීකය, රෝමය, ඊජිප්තුව, තුර්කිය, ඉතාලිය, අප්‍රිකානු රටවල පවතින සංස්කෘතික විශ්වාසයකි. එය බයිබලය, කුරානය වැනි ආගමික දර්ශනවල පවා බව සඳහන් වේ.
නපුරු ඇස්වලින් ආරක්ෂා වීමට මිනිසුන් විවිධ සංකේත සහ ක්‍රම භාවිත කෙරෙයි. ඒ අතරින් වඩාත් ජනප්‍රිය සංකේත වන්නේ, නාසාර් (Nazar) යන නිල් පැහැති ඇස වේ. මෙය නිල්, සුදු, ළා නිල් සහ කළු වර්ණවලින් යුත් වෘත්තාකාර හැඩයක් ගනී. එය වීදුරු, මැටි යන ද්‍රව්‍යවලින් සාදනු ලැබේ.
තුර්කි සංස්කෘතිය තුළ දෙවියන් අහංකාර මිනිසුන්ට දඬුවම් කරන බවට විශ්වාසයක් පැවතුණි. මේ නිසා ඊර්ෂ්‍යාවෙන් හෝ නපුරු සිතින් බලන බැල්මකින් ඇතිවන හානිය වළක්වා ගැනීමට, තුර්කි ජාතිකයන් විසින් Nasar Boncuk (නපුරු බැල්ම) පබළු නිර්මාණය කළේය. එදා පටන් තුර්කියේ සහ තවත් බොහෝ සංස්කෘතින් තුළ ළදරුවන්ගේ සිට සුරතල් සතුන්, නිවෙස් සහ පෞද්ගලිකව ආරක්ෂා වීමට මෙම පබළු පලඳියි. නපුරු ඇස් සඳහා භාවිත කරන වර්ණ පිටුපස තවත් කතාවක් ඇත. තුර්කිය, ග්‍රීසිය වැනි රටවල් සඳහා ජලය අතිශයින් වටිනා සම්පතකි. වියළි හා ශුෂ්ක ප්‍රදේශ පවතින බැවින් ජලය කියන්නේ ඔවුන්ට සමෘද්ධිය ඇති කරන බවයි. ඒ නිසා නිල් පැහැය නපුරු ඇස නිර්මාණය කිරීමේදී භාවිත කර ඇත.
එහි ඇති තද නිල්, ළා නිල, සහ සුදු වර්ණය යහපත් කර්මය, ධනාත්මක ශක්තින් සංකේතවත් කරනවා. නිල් වර්ණය නපුරු ශාපයන්ගෙන් ආරක්ෂා කරයි. ළා නිල් පැහැයෙන් දක්වන්නේ අහසය. එය සත්‍යය සහ නපුරට එරෙහිව ක්‍රියාකරන බව සංකේතවත් කරයි. නපුරු ඇස මාධ්‍යයේ කළු තිතින් නිරූපණය වන්නේ, එය සෑමවිටම සෝදිසියෙන් සිටින බවයි.
නපුරු ඇසෙන් ආරක්ෂා වන මෙම ආකර්ෂණීය පබළු, බොහෝ විට තම දරුවන් ආරක්ෂා කර ගැනීමට, නව ව්‍යාපාර හිමියන්ට සහ නව නිවෙසක හෝ මෝටර් රථයකට පවා තෑගි දෙනු ලැබේ. මෙමඟින් සෑම නව ආරම්භයක්ම සුරක්ෂිත කරන බව විශ්වාස කෙරේ.
නපුරු ඇස් නිර්මාණය කිරීමට වීදුරු යොදා ගනී. දුෂ්ට ඇසේ පබළුවක් ඉරිතළා හෝ කැඩී ගියහොත් එයින් අදහස් කරන්නේ, එය පැලඳ සිටි පුද්ගලයා හෝ වස්තුව ආරක්ෂා කිරීමේ කාර්යය ඉටු කර ඇති බවයි. Evil Eye අද තරුණියන් අතර මෝස්තරයක් වී ඇත. එහි ආරම්භය, 2017 වසරේදී විලාසිතාවක් ලෙස EyeLove සපත්තු සඳහා දුෂ්ට ඇස සංකේතය භාවිත කරයි. ගිගි හැඩ්ඩි සහ ස්ටුවර්ට් වයිට්ස්මන් විසින් EyeLove නිර්මාණය කරන ලදි. එතැනින් ආරම්භ වූ මෙය අදටත් විලාසිතාකරණයට භාවිත කරයි.
නපුරු ඇස මිථ්‍යා විශ්වාසයකි. මිනිසාගේ සිතේ ඇතිවන ඊර්ෂ්‍යාව තවත් කෙනකුට අවාසනාව ගෙන දෙයිද? ඇස්වහ වැදීමෙන් තම වැඩ අසාර්ථක වෙයි. මිනිසුන්ගේ අභ්‍යන්තරයේ බියක්, සැකයක් පවතියි. මේ බිය, සැකය නිසා විවිධ ඇදහිලි, විශ්වාසය ක්‍රම හරහා නපුරු බලවේග පලවා හැරීමට කටයුතු කරයි. සංස්කෘතියෙන් සංස්කෘතියට මෙහි වෙනස් ස්වභාවයන් දැකගත හැකියි. බුදු දහමට අනුව ඊර්ෂ්‍යාවෙන් විනාශ වන්නේ, ඊර්ෂ්‍යයා කරන පුද්ගලයා මිස, ඊර්ෂ්‍යාවට ලක්වන අනෙකා නොවේ. ඊර්ෂ්‍යාව නිසා ලැබෙන දෙයක් නැත, එයින් අහිමිවන්නේ ඔබේ සැනසීමයි.
TEXT – ඩිල්කි සමරනායක කැලණිය විශ්වවිද්‍යාලය
