පවුලක දැක්ම හා හරපද්ධතිය අනාගතයට ආයෝජනයක්...

සැප්තැම්බර් 11, 2019

ජීවිතය දිනිය යුතු බව පැවසූ විට බොහෝ දෙනා සිතන්නේ එය තනි පුද්ගලයන් විසින් තනිවම සාක්ෂාත් කරගත යුතු දෙයක් බවයි. එහෙත් තනි පුද්ගලයකු ලෙස ජීවිතය දිනීමට හැකියාව ඇති අතර පවුලක් ලෙස, පුද්ගල කණ්ඩායමක් ලෙස, ආයතනයක් ලෙස, ප්‍රදේශයක් ලෙස මෙන්ම රටක් ලෙස ද දිනීමට අපට හැකි ය.

මේ කොයි ආකාරයේ දිනීමකට හෝ අපට අවශ්‍ය වන්නේ අප තුළ ඇති දැක්මයි. එම දැක්ම මඟින් අරමුණක් කරා යාමෙන් ආයාසයකින් තොරව ම සාර්ථකත්වය කරා යාමට හැකියාව ලැබේ.

මින් පුද්ගලයකු ලෙසින් යම් කිසි දැක්මක් ඇතිව කටයුතු කිරීමෙන් ජීවිතය සාර්ථක කරගැනීමට එය රුකුලක් වන අන්දම පිළිබඳ අප කතා බහ කළෙමු.

එමෙන්ම පුද්ගලයන් කිහිප දෙනකුගෙන් සැකසෙන සමාජයේ කුඩාම සංවිධානය වන පවුලේ ද දැක්මක් තිබීම යහපත් පවුලක් ගොඩනැගීමේ හැකියාව ඉහළ නංවන්නකි. අද සමාජය ඉතාමත් කාර්යබහුල වී ඇති නිසාම පවුලේ සියලුදෙනා එකට එකතුවන වේලාවන් ද අඩු වී ගොසිනි. රාත්‍රියට පවුලේ සියලු දෙනාම පාහේ එකතු වුවද රූපවාහිනිය නිසා එකිනෙකාගෙන් දුරස්ථ වූ පවුලක් නිර්මාණය වී ඇත.

නිවැරැදි දැක්මක් ඇතිකර ගැනීම මඟින් ආදර්ශවත් පවුලක් ගොඩනගා ගත හැකියි. අධ්‍යාපනයෙන් ඉහළ තැනක් ලබා ගත් පවුලක් ද, ක්‍රීඩා අතින් දක්ෂතා දියුණු කරගත් පවුලක් ද, දැනුම අතින් ඉහළට ගිය පවුලක් ද මේ සියලු දේ ළඟාකර ගත් පවුලක් ද යන්න පවුලේ අය එකතු වී සකසා ගත යුතු දැක්මකි. බොහෝ පවුල්වල මවුපියන්ගේ අදහස්වල ඇති පරස්පරතාව නිසා දරුවන්ට ද හරි දැක්මක් නැතිව යයි. මේ නිසා දරුවන් ලැබූ මවුපියන් සේ ම විවාහයකට සූදානම් වන තරුණ පිරිස ද තමා ගොඩනගන පවුල කුමනාකාරයේ දැක්මක් සහිත කුටුම්බයක් ද යන්න කතිකාකොට තීරණයකට පැමිණිය යුතුයි.

එසේ වූ විට පවුලේ සාමාජිකයන් තුළ කුමනාකාරයේ පරස්පර අදහස් තිබුණ ද විසිරී යන පවුලක් ලෙස නොව, විවිධත්වය තුළින් එක් අරමුණක් කරා යන පවුල් සංස්ථාවක් ගොඩනගා ගත හැකියි.

ඇතැම් පවුල්වල මව, දරුවන් සෞන්දර්යය විෂයයන් සඳහා යොමු කිරීමට වැඩි නැඹුරුවක් දක්වන අතර පියා දරුවන් ක්‍රීඩාවට යොමු කරයි. මෙවැනි විටෙක තම අවශ්‍යතා පමණක් ඉටුකර ගැනීමට යාමෙන් දරුවන් අසරණ වේ. මෙවැනි ගැටුම්, ගැටලු ආදිය ඇති නොවන පරිදි යහපත් පවුලක් ගොඩනගා ගැනීමට හර පද්ධතියක් සහිත පවුලක් සකසා ගැනීමට ඔබට හැකි වේ. ඒ සඳහා තමාට, තම පවුලට ගැළපෙන දැක්මක් සකසා ගත යුතුයි. මෙය සමස්ත සැලසුමේ කොටසක් විය යුතුයි.

උපදෙස්

කළමනාකරණ උපදේශක දීපාල් සූරියආරච්චි

 

2019/09/11 තරුණි බලන්න