දැක්මක් මඟින් පහසුවෙන් ජයටැඹ කරා

සැප්තැම්බර් 18, 2019

අරමුණක් හඹා යාම ජීවිතය දිනීමට හැකි මඟ යැයි බොහෝ දෙනා සිතුව ද අරමුණක් නොව, ජීවිතය දිනීමට නම් දැක්මක් හා හර පද්ධතියක් තිබිය යුතු බව අපි පසුගිය සතිවල දී ඔබට පැහැදිලි කළෙමු. එහිදී පුද්ගලයකු ලෙස මෙන්ම පවුලක් ලෙස ද දැක්මක් ඇතිව සාර්ථකත්වය සොයා යාමෙන් අත්වන වාසි පිළිබඳ ඔබ දැනුවත් වන්නට ඇති. ඒ අනුව පුද්ගල කණ්ඩායමක් හා ආයතනයක් ලෙස දැක්මක් ඇතිකර ගැනීමෙන් පහසුවෙන් ජයටැඹ කරා ගමන් කළ හැකි වෙයි.

රටවල්වලට පැහැදිලි දැක්මක් ඇතිකර ගැනීම ද වැදගත් වේ. එමඟින් තමා කුමනාකාරයේ දැක්මක් ඇතිව ක්‍රියා කළ යුතු ද යන්න රටවැසියන් සියලුදෙනා තුළ මෙන්ම පාලකයන් තුළ ද මංසලකුණක් දක්වයි. මෙලෙසින් දැක්මක් ඇතිව රට පාලනයකොට රට ස්වයංපෝෂිත කළ සංවර්ධනය කරා ගෙනගිය පරාක්‍රමබාහු, දුටු ගැමුණු වැනි රජවරු අපේ රටේ ඉතිහාසයේ සිටිති. එපමණක් නොව, දැක්මක් තුළින් රට සංවර්ධනය කරා, ජයග්‍රහණ කරා ගෙන ගිය පාලකයන් පසු කාලීනව ද ලෝක ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ ද දැකිය හැකිය.

ලෝකයේ ජනපි‍්‍රයම ජනාධිපතිවරයකු වූ නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාව වූ තම රට වෙනුවෙන් 'අචඪදඡධඹ දචබඪධද' 'සියලු දෙනා එක් වූ රටක්' යන දැක්ම ඇතිව රට පාලනය කළ අතර මේ දැක්ම සැමදෙනා තුළම ඇති කිරීම සඳහා ඔහු ලෝක කුසලාන රග්බි පාපන්දු තරගය යොදා ගත්තේ ය. මුළු රටම 'වන් සීන් වන් කන්ට්‍රි' යන තේමාව ඔස්සේ එකට එකතුවිය. කළු ජාතිකයන් පවා තමන්ව පාලනය කරන සුදු ජාතිකයන්ගේ ක්‍රීඩාවට අපේ ක්‍රීඩාවක් ලෙස රොද බැඳ ගැනීමට සමත් විය. මෙය මානව ඉතිහාසයේ මෑත ඉතිහාසයේ දී සිදු වූ බලවත් සිදු වීමක් ලෙස දැක්විය හැකිය.

මෙම සිදුවීම ආශ්‍රයෙන් නිර්මාණය වූ ඉන්වික්ටස් ( ධ්දමඪජබභඵ ) චිත්‍රපටය ද ඔබ බැලිය යුතුම වූවකි. එහි දී ජයග්‍රහණය ලැබූ මොහොතේ දී රූපවාහිනී නිවේදකයකු නායකයාගෙන් අසන්නේ ඔබට මේ ප්‍රේක්ෂකාගාරයේ සිටි 42,000 ක් වූ දකුණු අපි‍්‍රකානුවන්ගේ ඔල්වරසන් හඬ උත්තේජනයක් වුණා නේද? යන්නයි. එවිට ඔහු පවසන්නේ, මෙතැන හිටි අය පමණක් නොවේ මිලියන 60 ක් වූ මුළු දකුණු අපි‍්‍රකානු ජනතාවම මා සමඟයි සිටියේ.. දැක්මක ඇති වැදගත්කම මෙයයි. කළු ජාතිකයන්ගේ නිදහස වෙනුවෙන් සටන් කළ මාටින් ලුතර් කිං පැවසුවේ 'මට සිහිනයක් තියෙනවා මගේ දරුවන්ගේ හමේ වර්ණය අනුව නොව, ඔවුන්ගේ දක්ෂතා සහ චරිතය මත ඔවුන්ව අගය කරන සමාජයක් බිහිවනු දැකීමට..' ලෙසයි. මෙය ද ඔහුගේ පුළුල් වූ දැක්මයි.

1960 ගණන්වල දී අමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාව සිටි ජෝන් එෆ් කෙනඩි මහතා පැවසුවේ 'අපි මේ දශකය නිම වීමට පෙර මනුෂ්‍යයකු සඳට යවා නිරුපද්‍රිතව නැවත පෘථිවියට ගෙන්වාගන්නවා' කියායි. ඒ දැක්ම අනුව මුළු ජාතිය ම එකවගේ මහන්සියෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 1969 දී නීල් ආම්ස්ට්‍රෝංට සඳට ගොඩබැස නැවත පෘථිවියට පැමිණීමට හැකි විය. මේ අනුව අපට ඉතිහාසයේ නිදසුන් ගෙන බැලූ විට පෙනී යන්නේ දැක්මක් තිබූ විට මුළු ජාතියක් ම දැක්ම මතින් අරමුණක් කරා රොද බැඳගෙන සිටින බවයි.

ආයතනික ලෙස දැක්මක් ඇතිකර ගැනීම ද ආයතනයේ නිවැරැදි ගමන්මඟේ යාමට හා එහි දිගු කාලීන සාර්ථකත්වයට රුකුල් දෙන්නකි. ආයතනයක උපාය මාර්ගික සැලැස්මක් සකසන විට ද අනිවාර්යයෙන් ම යොදාගන්නා පියවරක් ලෙස ද මෙය හඳුන්වා දිය හැකියි. බොහෝ විට පාසල්වල පවා ආදර්ශ පාඨය ලෙස හඳුන්වා ඇත්තේ එම පාසලේ ඇති දැක්මයි. එහෙත් අද වන විට ඇතැම් පාසල්වල සිටින අය පවා එහි අර්ථය හෝ දැක්ම පිළිබඳ නොදන්නා බවක් පෙනෙන්නට තිබේ. එහෙත් දැක්මක් ඇතිකර ගැනීමෙන් මෙන්ම එම පාසලේ, ආයතනයේ පවත්වාගෙන යන දැක්ම පිළිබඳ දැනගැනීම එහි සිටින හැමදෙනාටම වැදගත් වනු ඇත.

පසුගිය කාලයක ඈත දුෂ්කර ගම්මානයක පිහිටි පාසලක දරුවන් ඉංගී‍්‍රසි භාෂාව චතුර ලෙස හසුරුවන බව පුවත්පත්වල පළ වුණා ඔබටත් මතක ඇති. එසේ එම විදුහලට සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ මනා දැක්මකින් යුතු ගුරුවරයකුගේ සාර්ථකත්වය එම පාසලට ද ආදේශ වූ නිසයි. එම ගුරුවරයා ආර්ථික අපහසුතාවලින් පෙලෙන මේ දරුවන්ට කිසිදු අයකිරීමකින් තොරව පාසලේම තවත් කෙටි වේලාවක් වැය කරමින් ඉංගී‍්‍රසි භාෂාව උගන්වා ඇති අතර කථනය, ලිවීම, කියවීම වැනි සියලුම අංශවලින් එම දරුවන් ඉතා ඉහළ ස්ථානයකට පැමිණීම ඇතැම් ජනපි‍්‍රය පාසල්වලට ද අභියෝගයක් හා ආදර්ශයක් විය.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

2019/09/18 තරුණි බලන්න