දුක, සතුට සම සමව වෙනස්වන යුග දිවියේ කල දවස

සැප්තැම්බර් 25, 2019

උපතේ සිට මරණය දක්වාම අප විසින් එක් එක් කාල වකවානු ගෙවා දමනු ලැබේ. මේ විවිධ වූ කාලවල අපට මුහුණ දෙන්නට වන්නේ අනේකවිධ වූ අත්දැකීම් සමූදායකටය. ගලා හැළෙන දිය ඇල්ලක් සේ විචිත්‍රවත් ලෙස ජීවිතය ගෙවී යද්දී විටෙක අපේ ජීවිතයට වසන්තය උදාවෙයි.

තවත් වරක උදාවන්නේ ගිම්හානයකි. වසන්තය වුවත් ගිම්හානය වුවත් අප ජීවත් විය යුතුය. මෙය ජීවිතයට, වෘත්තීය ජීවිතයට මෙන්ම විවාහ ජීවිතයට ද පොදු වූ පරම සත්‍යයකි.

වැඩි දෙනෙක් මුළු යුග ජීවිතයම වසන්ත ඍතුව කියා සිතති.

දෙහදක් ආදරයෙන් බැඳුණු දිනයේ සිට ගත වන සෑම තත්පරයක්ම මිහිපිට වසන්තයක් නොව සුරලොව වසන්තයක් සේ හැඟෙනු නොඅනුමානය. පෘථග්ජන සිතකට එලෙස දැනීමේ අරුමයක් ද නැත. එහෙත් අප යථාර්ථයට මුහුණ දිය යුතුය.

තරුණියකගේත් තරුණයකුගේත් බැඳීම මිත්‍රත්වයේ සීමා මායිම් ඉක්මවා ආදරය බවට පත්වූ දිනයේ සිට සිත හීලෑ නැත. දෙදෙනාට එකිනෙකා ගැන සිහිනොකර මොහොතක් හෝ සටිය නොහැකිය. මේ කාලයේ පෙම්වතියගේ කාන්තා හෝර්මෝනය වන ඊස්ට්‍රජන් සහ පෙම්වතාගේ පිරිමි හෝර්මෝනය වන ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය අවදි වෙයි. ප්‍රේමයෙන් මුසපත් වෙයි. දෙදෙනාගේම ඇඩ්‍රිනලීන් හෝර්මෝන ක්‍රියාකාරී වී පෙම් යුවළ කෙතරම් ආකර්ෂණීය කරනවා ද කිවහොත් හද ගැස්ම වේගවත් වෙයි. ඩොපර්මින් හෝර්මෝනය ඉහළ යන්නේ ආදරයට ඇබ්බැහි කරමිනි. එය පැණි රසට, මතට ඇබ්බැහි වීමට දෙවැනි නැත.

සෙරොටනීන් පෙමින් මුසපත්වී සිටින යුවළකට සුවදායක නින්ද, කෑම රුචිය අහිමි කරයි. ආදරයේ හෝර්මෝනය ‘ඔක්සිටොසින්’ සිප වැලඳ ගැනීම් දක්වා සෙනෙහස රැගෙන යයි. ඊට පසුව එළඹෙන්නේ විවාහයෙන් ආදරය ශක්තිමත් කර ගන්නා අවදියකි.

විවාහ වූ අලුත ද ආකර්ෂණීය බැඳීම එලෙසින්ම පවතී. ආදරයේ හෝර්මෝනය ‘ ඔක්සිටොසීන්’ දෙදෙනා ආදරයේ අනන්තයටම රැගෙන යයි.

 

2019/09/25 තරුණි බලන්න