දියුණුවට වින කරන සතුරන්..

ඔක්තෝබර් 9, 2019

සාර්ථක ජීවිතයක් ගත කිරීම හැම දෙනකුගේම අදිටනයි. ඒ සඳහා අපි කොතෙකුත් ආකාරයෙන් උත්සාහ ගනිමින් සිටිමු. එහෙත් ඇතැම් විට අපට නොදැනීම අපගේ ඒ උත්සාහයන් නිරර්ථක වේ. ජනවාරි පළමු වැනි දින, උපන්දිනය වැනි විශේෂිත දිනවල දී අප යම් කිසි අධිෂ්ඨානයකින් යුතුව අරමුණක් කරා යාමට සිතට ගත් බවට ඔබට ද අත්දැකීම් පවතිනවාට සැක නැහැ.

එහෙත් එම සිතිවිල්ලෙන් යුතුව කොතෙක් කාලයක් වැඩ කටයුතු කරගෙන ගියාදැයි සිතා බලන්න. අපටත් නොදැනී ම අපගේ උනන්දුව අඩු වී, අරමුණ කරා යන ගමන අඩාල වූ බව මතක ඇති. එසේ වූයේ ඇයි දැයි සිතා ගැන්මට ඔබට අපහසු නම් ඒ මන්දැයි අද අපි ඔබට පැහැදිලිකර දීමට අදහස් කළෙමු.

මෙහිදී අත්දැකීමෙන් පැහැදිලි කරගත් අපගේ දියුණුවට වින කරන කරුණු පහක් වේ.

1. කැපකිරීම

කැප කිරීම ලෙස මෙය හැඳින්වුවද මෙහිදී, අරමුණ වෙනුවෙන් කැප කිරීමක් සඳහා අප සූදානම් විය යුතුය. එහෙත් බොහෝ විට සිදු වන්නේ අපට අරමුණ වෙනුවෙන් නිසි ලෙස කැප වීමට නොහැකි වීමයි.

මෙසේ වන්නේ බොහෝ අවස්ථාවල දී අපි සැප සොයා යන්නන් වීම නිසා සැප වෙනුවෙන් අරමුණ අමතකව කැප කිරීම් දියව යාමයි. සැපට ඇලෙන බව ස්වභාවයයි. එහෙත් සැපෙහි පමණක් ඇලී ගැලී සිටීමෙන් එයම අපේ පිරිහීමට හේතු වේ. අප සැප විඳින්නේ අපගේ පසිඳුරන් මාර්ගයෙනි.

රස ආහාර වැඩියෙන් ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු, රෝගාබාධ ඇතිකර ගත් පිරිස බොහෝ ය. අද අතීතයේ මෙන් නොව, විවිධ මාධ්‍යවලින් දැකගත හැකි දේ මෙතෙකැයි කිව නොහැකිය. විවිධ රූප මාධ්‍යයෙන් එන දේ විශේෂයෙන් ම රූපවාහිනිය, සංයුක්ත තැටි, අන්තර්ජාල ආදියෙන් ලැබෙන ඇතැම් දේ බැලීමට ඇබ්බැහි වීම නිසා ව්‍යාපාරවල සිදුවන හානිය පිළිබඳ ලෝ පතළ ෆෝචූන් සඟරාව විශේෂ අතිරේකයක් පවා පළ කළේ ය. මෙය අපේ රටේ ද වසංගතයක් වන තත්ත්වයට ඔඩු දුවමින් පවතී. ඇතැම් විට නිවෙස්වල සිටින ගෘහණියන් පවා තම දෛනික කටයුතු, නිවෙසේ දූ දරුවන්ගේ වගකීම් පවා අමතක කරමින් අන්තර්ජාලයේ සැරිසැරීමත් එහි ගොදුරු බවට පත්වන ආකාරයත් අසන්නට දකින්නට ලැබේ.

සැපට ඇති කැමැත්ත නිසාම ව්‍යාපාරයන්හි අසාර්ථකත්වයට බලපාන තවත් අංශ තිබේ. ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව අඩු වී ඇත්නම් එයට එක හේතුවක් විය හැකිවන්නේ ද මෙම වඩා පහසුව සෙවීම බව විමසිල්ලෙන් බලන විට පැහැදිලි වන කරුණකි.

ඇතැම් පුද්ගලයන් සිය ව්‍යාපාරික කටයුතුවලට අවශ්‍ය දැනහැඳුනුම්කම් වර්ධනය කරගැනීමට විවිධ සාමාජික එකමුතුවලට යොමු වේ. එහෙත් එවන් සමාගමයන්හි විඳින්නට සිදුවන ආශ්වාදජනක, පි‍්‍රයජනක අත්දැකීම් එමෙන්ම ප්‍රසිද්ධිය, පිළිගැනීම වැනි දේ නිසාම තමන්ට නොදැනී ම තම කාලය, ධනය, ශ්‍රමය හා ව්‍යාපාරයට ඇති කැපවීම නැතිකර ගනී.

මෙම සැප සෙවීම විටෙක ක්‍රියාත්මක වන්නේ අලසකම ද සමඟිනි. ඇතැම් විට තමා සිදු කළ යුතු කාර්යය තිබිය දී 'දැන් මේ සින්දුව අහලම වැඩේ කරනවා.., දැන් නිදා ගන්නවා උදේට නැගිටලා කරනවා..., තව පැය භාගයක් නිදා ගන්නවා..., අද මේ කෑම එක කාලා හෙට ඉඳන් ඩයට් කරනවා..' ලෙසින් සිතීම සැප සෙවීමට යාම නිසා අරමුණින් ඉවත් වීමට හේතු වන ආකාරයයි.

අපි ගේ අමදින විට ජංගම දුරකථනයේ යම් පණිවුඩයක් එන ශබ්දය ඇසුණු පමණින් ඔබ එය අතට ගත්තා යයි සිතමු. එහි ඔබට මුහුණුපොතේ මිතුරකුගේ යම් පණිවුඩයක් දැක ගන්නට ලැබී එහි දිගින් දිගට නිරත වීමෙන් තමා කළ කාර්යය ගැන අවධානය නැතිව යා හැකියි. එමෙන්ම රූපවාහිනියේ ඔබ කැමැති යම් වැඩසටහනක හඬ ඇසීමෙන් තමා සිදු කරන කාර්යය පසෙක තබා සාලයේ පුටුවක කොනකින් ඔබ වාඩිවෙන්නේ එහි වැඩි වේලාවක් නොරැඳී යාමේ සිතිවිල්ල ඇතිවයි. එහෙත් අවසානයේ ඔබ එම ස්ථානයෙන් ඉවත් වන්නේ ප්‍රවෘත්ති විකාශය ද බැලීමෙන් අනතුරුවයි. මඳක් සිතා බලන්න, එසේ වූ දින කොපමණ ප්‍රමාණයක් ඔබේ කාර්යය අතරමඟ නතර කිරීමට හේතු වූවාද?

 

2. නොරිස්සීම

අකැමැති දෙය සමඟ ගැටෙන ස්වභාවය ඔබේ දියුණුවේ මංපෙත් වසා දමයි. මෙහිදී අකැමැති අරමුණ නොරිස්සීම හා ඒ සමඟ ගැටීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. අප අකැමැති දෙය පවසන අය කෙරෙහි අපගේ අකැමැත්තක් ඇති වන්නේ එබැවිනි. අකැමැති විෂයයන් ඉගෙනීම සඳහා නොයාමට හේතු වන්නේ ද මෙයයි.

ජීවත්ව සිටින සෑම අයකුට ම තිබෙන වැදගත් ම සම්පත වන්නේ කාලයයි. කවර සම්පතක් තිබුණ ද ඉන් වැඩක් ගත හැකි වන්නේ තමාට කාලය තිබුණහොත් පමණි. අප පි‍්‍රය කරන දෙයට කාලය වැය කිරීමට කැමැති මුත් අකැමැති දෙයට කාලය වෙන් කිරීමට මැලිවන්නේ නොරිස්සීම නිසයි. ඔබ අකැමැති රූපවාහිනී වැඩසටහනක් විකාශය වන විට නාලිකා මාරු කරන්නේ එම හේතුව නිසයි.

අකැමැති පුද්ගලයකු සමඟ එකට වාඩි වී සිටීමට සිදුවුවහොත් ස්ථානය මාරු කිරීමට හෝ එතැනින් ඉවත්ව යාමට පවා පෙලඹේ. මෙසේ වන්නේ අකැමැත්ත නිසා ඇතිවන නොරිස්සීම නිසයි. නොරිස්සීම තවත් දිගින් දිගට ගිය විට එය බැනීම, පහරදීම, විවේචන එල්ල කිරීම, මැරීම, සියදිවි නසා ගැනීම ආදී ක්‍රියාවලට පවා යොමු වේ. නමුත් අරමුණකට යන පුද්ගලයා අකැමැති දේ සමඟ ගැටීමෙන් හෝ නොරිස්සීම මඟින් තමාගේ අරමුණෙන් ඉවත් වීම, අරමුණට යාම මන්දගාමී වීම සිදු වේ.

 

3.විපිලිසර බව

ගොනුවක් නොමැති වීම. තමාට කිරීමට නොහැකි වූ දේ පිළිබඳ පසුතැවීම, කනගාටු වීම, තමා සිදු කළ ඇතැම් දේ පිළිබඳ පසුතැවීම ආදියයි. එක් සිසුවෙක් පැවසුවේ විභාගය ළංවන විට තමාට වැටහෙන්නේ ඔහු පෞද්ගලික බස් රියක පසුපස ආසනයේ වාඩි වී සිටින ආකාරයක් බවයි. බස්රියට ගොඩ වූ පසුව කොන්දොස්තරවරයා පසුපසට යන ලෙස පවසන බැවින් දිගින් දිගටම පසුපසට ගොස් අවශ්‍ය ස්ථානයේ දී බැසීමට නොහැකි බවක් දැනෙන බව මේ සිසුවා පැවසුවේ ඔහුට කිසිම ගොනුවක් නොමැති වීම පිළිබඳයි.

 

4.කල් දැමීම

හිත හෝ කය ඇකිලීම නිසා වැඩ කල් දැමීම. අද නෙමෙයි හෙට යැයි පවසමින් කාර්යයන් කල් දැමීම නිසා ද තමාට අවශ්‍ය අරමුණට ළඟා වීමට එය බාධාවක් වේ. ඇතැම් සිසුන් විභාගය අවසන් වූ පසුවත් පසුවට කිරීමට කල් තැබූ ප්‍රශ්න පත්තර, ටියුට් ආදිය ගොඩගැසී තිබේ. මෙසේ වන්නේ තමාගේ කාර්යයන් කල් දැමීම නිසයි.

 

5.සැකය

තමා ගැන තමාට විශ්වාසයක් නොමැති වීම.

මේ කාරණා පහ අප නොදැනුවත්වම අපේ දියුණුවට අකුල් හෙලන කාරණා වේ. මෙය සාර්ථකත්වයට යාමට අපහසු වූ බොහෝ දෙනා තුළ ඇති කාරණා වන අතර මින් කරුණු පහම නොවුණ ද කිහිපයක් හෝ තිබිය හැකිය.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි