අරමුණ දිනන්න 'සැප' කැප කළ යුතුමයි

ඔක්තෝබර් 16, 2019

කුමනාකාරයේ හෝ දිනීමකට අපි හැම දෙනාම කැමැත්තෙමු. එසේ හෙයින් ජීවිතය දිනන්නට අකැමැති අයෙක් සොයා ගත නොහැකි තරම් ය.

ජීවිතය තුළ දී බොහෝ දෙනකුට එය දිනීමට ඇති හැකියාව තමා විසින් ම නැති කරගන්නා බවක් පෙනෙන්නට ඇත.

ඇතැම්විට අප අතින් සිදුවන ඇතැම් ක්‍රියා අපගේ දියුණුවට අහිතකර ලෙසින් බලපාන බව ඔබ නොසිතන්නට ඇති. එහෙත් මඳක් අප මේ පවසන කරුණු ගැන සිතා බැලීමේ දී මෙම ලක්ෂණ අඩු වැඩි වශයෙන් අප තුළ ඇති බව ඔබට වැටහේවි. මෙහිදී පළමුව අප සිදු කළ යුත්තේ මෙවැනි දියුණුවට වින කරන ලක්ෂණ අප තුළ වේදැයි හඳුනා ගැනීමයි.

දියුණුවට වින කරන මේ කරුණු පහ ගැන මූලික කරුණු පසුගිය සතියේ දී අප කතා කළා ඔබට මතක ඇති. අද අපි ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැන ගනිමු.

1. සැප සෙවීම

2. නොරිස්සීම

3. ගොනුවක් නැතිකම හෙවත් විපිලිසර බව

4. කල් දැමීම

5. අවිශ්වාසය

යම් කිසි අරමුණකට යමකු ළඟා වීමට අදහස් කරන විට එයට බාධා වන ආකාරයට නොදැනුවත්ව අප සැප සෙවීමට පෙලඹෙන්නේ කෙසේදැයි යන්න සොයා බැලිය යුතුයි. උදාහරණයක් ලෙස, අපි යමකුට ක්‍රිකට් ක්‍රීඩකයකු වීමට අවශ්‍ය යැයි සිතමු. එවිට ඔහු ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ දැනගත යුතුයි. ක්‍රිකට් පිළිබඳ දැනගැනීමට නම් ඔහු නිතර නිතර ක්‍රිකට් තරග නැරැඹීම මෙන්ම එම තරග ඇතුළත් වීඩිියෝ බැලිය යුතුයි. නමුත් ඔහු එයට පමණක් කාලය මිඩංගු කළහොත් ක්‍රිකට් තරගවල විස්තර විචාරකයකු විය හැකි වුවත් ක්‍රිකට් ක්‍රීඩකයකු විය නොහැකියි.

එක් සිසුවකුගේ දැඩි ආසාව පැවතියේ වෛද්‍යවරයකු වීමටයි. එම නිසා ඔහු යූ ටියුබ් එකේ ඇති ඉමර්ජන්සි රූම් නම් වැඩසටහන් පෙළ මෙන්ම වෛද්‍යවරු විසින් සිදු කරන පර්යේෂණ ආදිය පිළිබඳ දැනුවත් විය. වෛද්‍යවරයකු වීමට නම් පළමුව විභාග සමත් වී වෛද්‍ය විද්‍යාලයට යා යුතුය. එහෙත් මේ සිසුවා තම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අධ්‍යාපනය පසෙක දමා සැප සෙවීමක නිරතවීම නිසා එම අරමුණ කරා යාමට නොහැකි වී ඇත.

කූඹියා පැණි හැලියේ වැටී ඉන් ගැළවීමට නොහැකිව තව තවත් එහිම ගැලී සිටිනා සේ සැප සොයා යන පුද්ගලයා ද අරමුණෙන් ඉවතට විසි වෙයි. මෙහි ස්වභාවය වන්නේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කැමැත්තක් දක්වන අප පෙර කී පුද්ගලයාට ජිම් එකට ගොස් ඇඟ හදා ගැනීමට කැමැත්තක් ඇති වූවා යැයි සිතමු. එහිදී ඔහු දැඩි සේ එයට ඇබ්බැහි වී ක්‍රිකට් පුහුණුවීම් ද මඟ හරිමින් ජිම් එකට යාමෙන් ඔහුට කාය වර්ධන කිරීමට හැකි වුවද ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ අවස්ථාව මඟ හැරී යයි.

ක්‍රීඩා කරන අය හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා හොඳ ආහාර පාන ලබා ගත යුතුයි. ක්‍රිකට් ක්‍රීඩකයකු වීමට කැමැත්තක් දක්න අප පෙර කී පුද්ගලයා අධික ලෙස ආහාර ගැනීමට ගිජු වුවහොත් ඔහුගේ සිරුරේ බර වැඩි වෙනවා මිස ක්‍රිකට් ක්‍රීඩකයකු විය නොහැකිය.

මෙහිදී අප තේරුම් ගත යුත්තේ යම් අරමුණක් කරා අප යන්නේ නම් ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා යම් කැප කිරීම් ප්‍රමාණයකුත් සිදු කළ යුතු බවයි. මෙහි ස්වභාව වන්නේ ණයට ගන්නවා වැනි දෙයකි.

අද පෙරට වඩා අරමුණකට යාමේ දී ඇති වන බාධාකාරී තත්ත්වයන් වැඩි වේ. අපි නොදැනුවත්ව ම ඒවාට නැඹුරු වීමට ක්‍රම පවතී. අතීතයේ වුවද අරමුණෙන් ගිලිහෙන එවැනි බාධා කිරීම් නොතිබුණා ම නොවේ.

යම් ශිෂ්‍යයෙක් අධ්‍යයන කටයුතු වලට උපකාරී වීම සඳහා කම්පියුටරයක් ලබා ගත්තා යැයිි සිතමු. එහිදී ඇතැම් විෂය කාරණා මෙන්ම තමාගේ විෂය ක්ෂේත්‍රයට අවශ්‍ය කාරණා ද ඇතුළත් යූ ටියුබ් වීඩියෝ බැලීමට ද පුළුවන. පසුව මඳින් මඳ අන්තර්ජාලයේ ඇති වෙනත් ඕපාදූප සොයා බැලීමටත් අසැබි දේ බැලීමටත් යොමු විය හැකියි. හිත පාලනය කරගැනීමට නොහැකිව එලෙසින් ඒවාට ඇබ්බැහි වූ විට තමාටත් නොදැනීම අරමුණෙන් ඉවතට යාමට හැකියි.

ඇබ්බැහියක් ලෙස හඳුන්වන්නේ යමකුට යම් දෙයක් නොකර බැරි තත්ත්වයකට පත් වීමයි. ඇහැට රූප, කනට ශබ්ද ආදිය කොතෙක් දුන්නත් මෙහි දී ඇති වීමක් නොවේ.

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

 

2019/10/16 තරුණි බලන්න