අපි හොඳින් වැඩ කරනකොට දෙවියොත් අපට ආශීර්වාද කරනවා

නොවැම්බර් 27, 2019

ජාතික මට්ටමේ විදුහල්පති සම්මානය දිනූ

මිලාගිරිය සාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පති - සුමේධා ජයවීර

මනසත් මසැසත් නැණසත් පාදන ඔවුන් ගුරු දෙවිවරුන්මය. නිස්සාර වූ ජීවන කෙතේ සරුසාර වූ බීජ වපුරන්නට ඒ ලබාදෙන්නා වූ පන්නරය මෙතෙකැයි කියා කියන්නට අපට හැකියාවක් නැත. එවන් වූ දිසාපාමොක් ඇඳුරුතුමන්ලා, තුමියන්ලා කරන්නා වූ විශිෂ්ට සේවය ඇගයීම අපගේ ද යුතුකමකි.

මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය වන සුමේධා ජයවීර ගුරුමෑණියන් ද එසේ ඇගයීමට ලක්කළ යුතු අපේ කාලයේ දිරිය මාතාවකි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබමින් ජාතික මට්ටමේ විදුහල්පති සම්මානය ඇය පසුගියදා හිමිකරගත්තාය. මේ ඇගේ ඒ ජයග්‍රහණයේ කතාවයි.

ඔබ ලැබූ මේ ජයග්‍රහණය කුමක් ද? එය ලබාගත් ආකාරය පැහැදිලි කළොත්

ලෝක ගුරු දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ‘ගුරු විදුහල්පති ප්‍රතිභා ප්‍රභා’ නමින් පසුගියදා සම්මාන උළෙලක් පැවැත්වුණා. එහිදී විදුහල්පතිවරුන් තේරීම සඳහා අංශ කීපයක් ඔවුන්ගේ අවධානයට යොමුවෙලා තිබුණා.

පාසල, අධ්‍යාපනය, භෞතික සම්පත්, විනය, සිසුගුරු සේවක සුබ සාධනය යන අංශ ඒ අතරින් ප්‍රධානයි. ඒ වගේම අධ්‍යාපන ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි සිසුන් විෂයය බාහිර ක්‍රියාකාරකම් සඳහා කොතෙක් දුරට යොමුකර තිබෙනවා ද? අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහ ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් ඉදිරිපත්කර තිබේද? පාසල් විනය කොතරම් පිළිවෙළට පවත්වාගෙන යනවා ද? පාසල් වාර්ෂික සැලැස්ම හා අවුරුදු සැලැස්ම කලට වේලාවට ඉටුකරනවා ද? පාසල් කටයුතු සඳහා ප්‍රජා දායකත්වය ලබාගන්නවා ද? 75% ඉක්මවූ ජාතික විභාග ප්‍රතිඵල තිබේ ද? ක්‍රීඩා සහ අනෙකුත් විෂයය සමගාමී සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන ඇත් ද? විදුහල්පතිවරයා පාසල දියුණු කරනවා සේම ජාත්‍යන්තර වශයෙන් ග්‍රන්ථකරණයේ නියැළී සිටිනවා ද? ඔහු හෝ ඇය විසින් ලබා ඇති සම්මාන සහ අවම ප්‍රමාණයෙන් නිවාඩු ලබාසිටීම යන අංශයන් පිළිබඳ ඔවුන්ගේ වැඩි අවධානය යොමුවී තිබුණා. ඊට අමතරව විදුහල්පතිවරයා ලබා ඇති සම්මාන පිළිබඳව ද ඔවුන්ගේ අවධානය යොමුව තිබුණා. මේ සියලු කරුණු පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව මා ඒ සඳහා සුදුසු බවට ඔවුන් යෝජනාකර තිබුණා.

මේ සම්මානය පාසලේ සියලු දෙනා එකතුවෙලා ලබපු ජයග්‍රහණයක් විදිහටයි මම දකින්නේ. ඒ නිසා මේක ඒ හැමෝටම ගෞරවයක්.

එයට අමතරව ඔබ ලබා ඇති අනෙක් සම්මාන මොනවා ද?

ලෝක අධ්‍යාපන සම්මේලනය විසින් ලබාදුන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන නායකත්ව සම්මානය හිමිකරගන්න මේ වර්ෂයේ දී මට හැකියාව ලැබුණා. ඊට අමතරව 2016,2017 යන වර්ෂ දෙකෙහිම කොළඹ රොටරි සමාජය මඟින් ලබාදුන් ස්වීස් එක්සලන්ට් සම්මානය දිනාගන්නත් මට හැකිවුණා. එය ලබාදුන්නේ කෙටි කාලයක් තුළ වඩාත් නිර්මාණශීලී ලෙස පාසල මෙහෙයවූ විදුහල්පතිනියට වගේම ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල ප්‍රසස්ත මට්ටමට ගෙනයෑමට හැකිවීම නිසාත් ය. ඒ වගේම සමාජයට දැනෙන ආකාරයට පාසලේ වෙනසක් ඇතිකිරීමට හැකිවීම නිසා 2019 වර්ෂයේ දී ආසියානු නායකත්ව සම්මානය ලබාගන්නත් මට අවස්ථාව උදාවුණා. ඒ සඳහා අප විශාල කැපකිරීමක් සිදුකළා. මම මේ පාසලට ආවේ 2015 වර්ෂයේ. මම එනකොට මේ පාසලේ විනය තරමක් අඩුවෙලයි තිබුණේ. ඒක වටපිටාවේ අයටත් හරිම වධයක් වෙලා හිටියේ.

ඒ තත්ත්වය නැති කරන්න මට හැකියාව ලැබුණා. දැන් පාසල හරිම නිහඬයි. නිස්කලංකව දැන් කාලෙ ගත කරනවා කියලා වටපිටාවෙ අය නිතරම කියනවා. මම ඒ ගැන ආඩම්බර වෙනවා. ඒ අනුව පාසල ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයාමට මට හැකියාව ලැබුණා. අපේ පාසල තමයි ලංකාවෙ තියෙන පළමුවැනි හරිත පාසල. ඒ වගේම අපි සූර්ය බල ශක්තිය යොදාගනිමින් වැඩකරන පාසලක්. අපි ඒ සඳහා මවුපියන්ගෙන් මුදල් ගත්තෙ නැහැ. ඔවුන්ට බරක් නොවී පාසල් සංවර්ධන මුදල ඉතිරි කරගෙනයි මේක කළේ.

ඉතින් කෙටි කාලයක් තුළ පාසලේ ඇති කරන ලද සුවිශාල සංවර්ධනය නිසයි මේ සම්මානය දිනාගන්න අපට හැකියාව ලැබුණේ.

ඔබ බාලිකා පාසලක විදුහල්පතිනියක්. එතැනදී ඔබ සිසුවියන් සමඟ වගේම ඔබේ ආචාර්ය මණ්ඩලය සමඟ කටයුතු කරන්නේ කොහොමද? ඔවුන්ව පාලනය කරන්නේ කුමන ආකාරයෙන් ද?

මම විශ්වාස කරන දෙයක් තමයි දරුවන්ට ශාරීරික පීඩා කිරීම සුදුසු නැහැ කියන එක. එයාලට යමක් තේරුම් කරන්න ක්‍රමවේදයක් තියනවා. දරුවන්ගෙ දුප්පත්කම පොහොසත්කම බලන්නෙ නැතුව එයාලට එක වගේ සලකන්න ඕනේ. කවදාවත් දරුවන්ගේ තරාතිරම බලන්න හොඳ නැහැ.

මම හැමවෙලාවකම දරුවන්ට ආදරය, සාධාරණය වගේම පිළිගැනීමත් සිදු කරනවා. ගුරුවරුන් සමඟත් මම නිරන්තරයෙන්ම කතා කරනවා. එයාලගෙ වැරැද්දක් දැක්කත් මම ප්‍රසිද්ධියෙ කෑගහන්නෙ නැහැ. හැමවෙලාවකම එයාලගෙ අභිමානය රැකෙන පරිදි කටයුතු කරන්නයි මම උත්සාහ ගන්නෙ.

ඒ වගේම තමයි මම සේවකයන් ගැනත් හිතන්නෙ. එයාලගෙ වෘත්තියත් වැදගත් එකක් කියලා මම හැමවෙලාවකම පැහැදිලි කරලා දෙනවා.

2019/11/27 තරුණි බලන්න