සුරතලුන් ද විජලනයට ගොදුරු වෙනවා

දෙසැම්බර් 4, 2019

ලස්සන සුරතල් බලු පැටවකු බළල් පැටවකු දුටු විට හැමෝම ඉතා ආදරයෙන් හදන්න ගත්තත් සුරතල් දඟකාර වයසෙන් ඔබ්බට සත්ත්වයා උස්මහත් වන විට මුලදී තිබුණු අගය නැතිවී යනවා.

සමහර සුරතල් සත්ත්ව හිමිකරුවන් අයත් වන්නේ මේ ගණයටයි. තමන් ආදරයෙන් හදා ගැනීමට ගත් සුරතලා කලට වේලාවට නෑවීම, කෑම බීම බෙහෙත් දීම පමණක් නොව සුරතලාගේත් තමන්ගේත් සෞඛ්‍යයට විශාල තර්ජනයක් වන ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා ජලභීතිකා එන්නත දීමට පවා මේ අය අමතක කරනවා. සමහර හාම්පුතුන් කෑම දුන්න ද සතාට වතුර පොදක් හෝ තැබීමට අමතක කරනවා. සෑම සුරතලකුටම ජලය අවශ්‍යයි. විශේෂයෙන් සුනඛ සුරතලාට නිතර වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍යයි. නරක හාම්පුතුන් ඉඳුල් සතුන්ට දෙන්නාක් මෙන් අපිරිසුදු වතුර ද සුරතලුන්ට දීමට පුරුදු වී සිටිනවා. සැම විටම සුරතලාට දිය යුත්තේ පිරිසුදු වතුරයි. දිනකට දෙවරක් වත් වතුර භාජනයේ වතුර මාරු කළ යුතුය. කුරුල්ලන්ට නම් බීමට මෙන්ම නෑමට ද ජලය අවශ්‍යය. ජලය කුරුල්ලන්ට දෙන ආහාරවලින් ඈත් කර තැබිය යුතුය.

සුනඛ සුරතලෙක්, බිළාල සුරතලෙක් නිවෙසේ සිටිනවා නම් නිවෙසේ තැන් කිහිපයකම වතුර භාජන තබන්න. එයින් ජලය පානයට වැඩි ඉඩක් සතාට ලැබෙනවා.

සුනඛයා ඇවිද්දවනවා නම් අධික හිරු එළියේ ඇවිද්දවීමේන් විජලනයට ලක්විය හැකියි. එනිසා උදෑසන හෝ හැන්දෑ වරුව ඒ සඳහා යොදා ගන්න.

සුනඛයන් ස්වභාවයෙන් සිසිලසට කැමැතිය. එනිසා තෙමූ තුවායක් තෙත මිරිකා තබන්න. එයින් සතාගේ දාහය මෙන්ම පිපාසය ද යම් තරමකට සංසිඳෙයි. නිවෙසේ ඇත්තේ ටයිල් ඇල්ලූ පොළොවක් නම් අයිස් වතුරෙන් බිම මොප් කරන්න. හාම්පුතුන් සතාගේ අධික උණුසුමකින් සිටිනවාදැයි කියා විමසිලිමත් වීම හොඳ සුනඛ හිමිකරුවකුගේ ලකුණකි. අධික පිපාසයක් උණුසුමක් ඇතිවූ විට සුනඛයා වේගයෙන් හුස්ම ගනියි.

විජලනය උග්‍රවූ විට ඔක්කාරය, ඩයරියා වැනි ලකුණු ඇති වෙනවා. දිව, විදුරු මස් තද රතු හෝ නිල් පැහැයට හැරෙනවා. ලොම් අධික වීම, ලොම් දිගු වීම, පැටවකු වීම, වයස් ගත වීම සුරතලා ඉක්මනින් විජලනයට පත් වීමට හේතූන්ය. මෙවිට වහාම සුරතලා සිසිල් තැනකින් තැබිය යුතුය. සතාට ජලය පානයට ඉඩ සැලැස්විය යුතුය.