ආහාර ගැනීමේ ක්‍රියාවෙන් ආහාර ගැනීමේ ක්‍රියාවෙන්

දෙසැම්බර් 11, 2019

සිහියක් නොමැතිව අපගේ ජීවිතයෙන් පළක් නොවේ. ජීවිත කාලය තුළ දී අප සිදු කරන සියලුම කාර්යයන් සිහියක් නොමැතිව සිදු කළහොත් එය අසිහියකින් සිදුකළ බැවින් අප සිදු කළේ කුමක්දැයි අපි ද නොදනිමු. මිනිස් ජීවිතයක් ලැබුවාට ඔහේ ජීවිතය ගෙවා දමන්නක් බවට පත් වේ.

එහෙත් අපිට ලැබුණා වූ මේ ජිවිතය සාර්ථක කරගැනීමට, ජීවිතය දිනීමට සෑම පුද්ගලයකුම කැමැති ය.

ජීවිතය සාර්ථක කරගැනීමට නම් තමා සිදු කරන කාර්යයන් සිහියකින් යුතුව සිදුකළ යුතුය. එසේ නැති වූ විට වැඩ අතපසු වීම, අමතක වීම, සිදු කළ යුතු කටයුතු පටලවා ගැනීම ආදී බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. ජීවිතය සාර්ථක කරගත් පුද්ගලයන්ගේ ජීවිත කතා හැදෑරීමේ දී හෝ ඒ පිළිබඳ සොයා බැලීමේ දී ඔබට පැහැදිලි වන එක් පොදු කරුණක් ඇත.

සාර්ථකත්වය ලැබූ සියලු පුද්ගලයන්ට එය කවුරුන් හෝ ලබා දුන් දෙයක්, ඉබේ ලැබුණු දෙයක් නොවන බව එම කාරණාවයි.

මේ අනුව සාර්ථකත්වය ලබා ගැනීමට නම් අප සිහියෙන් යුතුව සෑම කටයුත්තක්ම සිදු කළ යුතුයි.

සිහිය පවත්වා ගැනීම සිදු කළ යුතු ආකාරය පිළිබඳ අපි අද තව දුරටත් කරුණු දැන ගනිමු. සිහිය පවත්වා ගැනීම දියුණු කරගැනීමට අප එදිනෙදා සිදු කරන සරල කාර්යයන් මඟින් අභ්‍යාස කළ හැකිය.

අප කොතරම් නම් ආහාර ගන්නවාද? ඇතැම් විට අපගේ ජීවිතවල ඉතා විශාල වේලාවක් වැය වන්නේ ආහාර සඳහා අවශ්‍ය දේ සපයා ගැනීමටත් ඒවා පිළියෙල කරගැනීමටත් ය. විටෙක ඉතා විශාල වියදමක් දරා සුපිරි ආපනශාලාවකට ගොස් සෑහෙන වේලාවක් තිබෙන ආහාර විමසමින් ඇණවුම් කරන කෑම වේලේ රසවත් බව අප අත්විඳිනවා දැයි සැක සහිතය.

මන්ද ආහාර මේසයට ගෙනෙන අවස්ථාව වන විට ඔබ රසවත් කතා බහක සිටින්නට පුළුවන.

තනිව ආහාර ගැනීමට ආපන ශාලාවකට යන අයකු වුවද ඇතැම් විට පුවත්පතක් බලමින්, රූපවාහිනිය නරඹමින්, ජංගම දුරකථනයෙන් සංවාදයක නිරත වෙමින් හෝ අන්තර්ජාලයේ සැරිසරමින් ආහාර ගැනීම සිදු කළ හැකියි.

මේ හේතුවෙන් ආහාරය ගැන අවධානය අඩු වී පුරුද්දට ආහාර ගැනීම සිදු කරයි.

මේ පුරුද්ද ඉක්මවා ගොස් සිහිය දියුණු කරගන්නට, මේ මොහොතේ සිදුවන්නේ කුමක්ද? කියා දැන ගැනීමට අවශ්‍ය කුසලතාව දියුණු කරගැනීමට මෙවැනි ක්‍රියාවන් ද භාවිත කළ හැකිය.

ඒ සඳහා මේ පියවර අනුගමනය කළ හැකියි.

1. බඩගින්න දැනුණ විට ඒ බව දැනගන්න. පුරුද්දට නොව, බඩගින්නට ආහාර ගැනීමට සුදානම් වෙන්න.

2. කෑම බෙදා ගන්නට ගිය විට, නැතිනම් ආහාර බඳුන දුටු විට එහි ඇති විවිධ කෑම වර්ග දුටු විට සිතට නැගෙන සිතුවිලි පිළිබඳ දැනුවත් වෙන්න. එය හඳුනා ගන්න.

සමහර කෑම වර්ග දුටු විට කටට කෙළ උනන ආකාරය, තවත් සමහර කෑම වර්ග දුටු විට දැඩි ආශාවක් දැනෙන අයුරු සහ අපත්‍ය ආහාරයක් දුටු විට වෛද්‍ය උපදෙස් සිහි වන ආකාරය වැනි සිතුවිලි පිළිබඳ සිහිය යොමු කරන්න.

එමෙන්ම ආහාර පිළියෙලකර ඉදිරිපත් කර තිබෙන ආකාරය ගැන සිහිය යොමු කරන්න. එහි ඇති පිළිවෙළ, වර්ණවත් බව නිරීක්ෂණය කරන්න.

පුරුද්දට නොව, ආහාර වෙතට අත යැවීමට සිතුණ බව දැනගෙන ආහාරයට අත යවන්න.

ඇඟිලි තුඩුවලට දැනෙන උණුසුම, සීතල, ආහාරයේ ඇති තද ස්වභාවය, මෘදු ස්වභාවය ආදිය ගැන සිහියෙන් බලන්න. ආහාරය ඇනීමේ (කළවම් කිරීමේ) ක්‍රියාවලිය වෙත ඉතා හොඳින් අවධානය යොමු කරගෙන සිටින්න.

ආහාරය අනන්නේ පුරුද්දට වූවත් එය සංකීර්ණ ක්‍රියාවලියක් බව අවධානයෙන් විමසා බලන්න.

මහපටැඟිල්ල පිඟානට තද කරගෙන අනෙක් ඇඟිලි වමට හා දකුණට මෙහෙයවන ආකාරය, ඇතැම් ආහාර කොටස් ඇඟිලි තුඩුවලින් පොඩි කරන ආකාරය, දැන් කෑම ඇනී ඇත කියා සිතුණ විට පිඬුවක් සේ සකසා ඇඟිලිවලින් අල්ලා ගන්නා ආකාරය, අත මුඛය තුළට ඇතුළු කිරීමට සැරසෙන විටම මුව විවර කරන අයුරු, ආහාරය කට තුළට ගත් විට වැසෙන හා ආහාරය හපන ආකාරය, එවිට දිවට දැනෙන රස, රස දැනෙන විට සිතට හැඟෙන දේ ආදී මේ සියල්ල ගැන ඉතා සාවධානව ම අවධානය යොමු කරගෙන සිටින්න.

මේ ආකාරයට බත් කටවල් කිහිපයක් හෝ අනුභව කිරීමට උත්සාහ දරන්න.

හැකි නම් කතා නොකර මේ ක්‍රමයට, ඉඩ ලද විටෙක නැතිනම් දවසේ එක් කෑම වේලක බත් කටවල් කිහිපයක් හෝ අනුභව කරන්න.

මේ අතරතුර සිතට විිවිධ සිතුවිලි පැන නැගිය හැකිය. එවිට ඒ ගැන අහිතක් නොසිතා නැවතත් ආහාර ගැනීමේ ක්‍රියාවලිය දෙසට අවධානය යොමු කරන්න.

මේ අත්දැකීම ගැන සිහියෙන් සිටින්න. සමස්ත ක්‍රියාවලිය ම යළි විමසා බලන්න.

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

2019/12/11 තරුණි බලන්න