යුග දිවිය සොඳුරු කරන සහයෝගීතාව

දෙසැම්බර් 25, 2019

සැමියාත් බිරියත් අතර තිබෙන්නේ ඇස් දෙක වගේ, දෑත වගේ අපූරු ගැළපීමක්ය. ඒ ගැළපීම මානසිකව මෙන්ම කායිකව ද බ¼ැඳුනකි.

ඇසක් අහිමි වුවොත් අතක් අහිමි වුණොත් එය පිරවිය නොහැකි අඩුවක් සේම පතිපතිනියන්ගේ සහයෝගීතාවක් නොතිබුණොත් එය එකිනෙකාගේ ජීවිතයට බලපාන්නේ නොසිතන හිස් බවක් එක් කරමිනි.

කාර්යබහුල සමාජයේ අප එකිනෙකාගෙන් දුරස්වන්නේ නොසිතූ විරූ අන්දමිනි. බොහෝ දුරස්ථභාවයන් සිදු වන්නේ සිතා මතා නොවුණ ද එයින් වන හානිය සුළුපටු නොවෙයි. සහයෝගීතාව මඟින් මේ තත්ත්වය ඌනපූරණය කළ හැකිය. දවසක අවසානය තරමක් වෙහෙසකාරීය. දෙදෙනාම රැකියාවක නියුක්ත වෙනවා නම් අඩුවක් නැතිව මේ වෙහෙස විඳ දරා ගැනීමට සිදුවෙයි. තවමත් අපේ නිවෙසේ කුදුමහත් රාජකාරී සමුදායේ වගකීම් පැවරෙන්නේ බිරියටය. බිරියගේ ආදරණීය සත්කාරය නිසා ඇයට සැමියාගේ හදවතේ රැජිනිය විය හැකි බව සැබෑවකි. එහෙත් දෙදෙනාගේ සහයෝගීතාවෙන් ඊට වැඩි වෙනසක් කළ හැකිය.

අඹු සැමියන් වශයෙන් මොනතරම් සහයෝගයෙන් ජීවත් විය හැකිදැයි බලන්න.

ආහාරයේ ශක්තිය

එකට එක්වී කෑම බීම පිළියෙල කිරීම එකිනෙකාගේ දිවිය සැහැල්ලු කරනවා පමණක් නොව සෙනෙහස ද වඩාත් ශක්තිමත් කළ හැකි ක්‍රමයකි. සැමියාගේ මේ සහයෝගීතාව නිසා බිරියට සැමියා ගැන ඇති ආදරය වගේම ගෞරවය ද වැඩි දියුණු වෙයි. අධ්‍යයන ගණනාවකින්ම හෙළිවී ඇත්තේ මෙසේ එක්ව ආහාර පිසින අඹු සැමියන් ඉතා සාර්ථක තෘප්තිමත් යුග දිවියකට හිමිකම් කියන බවයි. මුළුතැන්ගෙයි රසට ආහාර පිසෙන ඒ කාල සීමාව සොඳුරු කතා බහකට සුදුසුම වේලාවකි. වැඩ නිසා දෙදෙනාට කතා කිරීමට කාලයක් වෙන් කළ නොහැකි නම් මේ ඊට කදිම වේලාවකි. අලුත් කෑම වට්ටෝරුවක් දෙදෙනා එක්වී පිසීම මොනතරම් සුන්දර අත්දැකීමක්ද? ජීවිත කාලයටම මතක සිටින අත්දැකීම් සමුදායක් එක් කර ගැනීමට ද එක්ව ආහාර පිසීමෙන් මඟ පෑදෙයි.

යුවළකට එක්ව කරන කාර්යයන් අතර එක්ව ආහාර පිසීම සුවිශේෂී වෙයි. එය හොඳ සන්නිවේදන ක්‍රමයකි. තවත් වාසියක් නම් බත ඉදෙන තුරු ඇතිවන අඬදබරවලට තියෙන ඉඩකඩ ඇහිරීමයි.

එක්ව කෑම පිසීමේ තවත් වාසි රැසක් තිබේ. එක් වාසියක් නම් එක් අයකු රෝගීවූ විට අසරණ නොවීමයි. බොහෝවිට සිදුවන්නේ බිරිය රෝගීවූ විට සැමියාට කුස ගින්නේ සිටීමටයි. එසේ නැත්නම් කඩේ ඇති කෘත්‍රිම රස කාරක, කෘත්‍රිම වර්ණක පිරි අහිතකර කෑම වේලක රස බලන්නට සිදුවීමයි. දෙදෙනාම කෑම පිසින්නට පුරුදුවූ විට පවුලටම කුස ගින්නේ සිටීමට, අහිතකර ආහාර රස විඳිමට සිදු නොවෙයි.

ආදරණීය සැමියකුට නිවෙසේ කුදුමහත් රාජකාරි කටයුතුවලින් හෙම්බත්වී සිටින බිරියට වරින්වර කෑම පිසීමෙන් මඳ විවේකයක් ලබාදිය හැකි නම් එය බිරියගේ ආදරය වගා කරගත හැකි ක්‍රමයකි. රෝගී වූ විටක පවා කෑම පිසීමට සිදුවීමෙන් ඇතැම් විට ඇය කලකිරීමට ඉඩ තිබේ.

ආහාර පානවලට යුගදිවියක් මොනතරම් සවිමත් කළ හැකිද?

2019/12/23 තරුණි බලන්න