මේ ආරම්භය ඔබේමයි ජීවිතය දිනන්න අදම අරඹන්න

ජනවාරි 1, 2020

2020, මේ තවත් එක් අලුත් අවුරුද්දක ආරම්භයයි. 2019 වසර ගෙවී ගිහින්. කාලය ගෙවී යන වේගය ගැන හිතාගන්නවත් බැහැ නේද? ඔබ ඉක්මන් නොවුණොත් මේ අවුරුද්දත් ඉක්මනින්ම ගෙවී යාවි. ඒ නිසා කළ යුතු දේ දැන්ම කරන්න අදිටන් කරගන්න. මේ ආරම්භය ජීවිතය දිනන්න, සාර්ථක කරගන්න හිතන අයටමයි.

උදවු උපකාර

අපිට පුළුවන් නම් හැම වෙලාවකම තවකෙනකුට උදවු උපකාර කරන්න. ඉන් උදවු ලබන්නාත්, උදවු කරන්නාත් සැනසීමක්, සතුටක් ලබනවා. කෙනකුට හොඳ හිතින් දෙයක් කරන්න සිතුණාම තවත් අය ඒ දේටම එකතු කරගන්න අමාරුයි. විවේචන වැඩියි. නොකෙරෙන පැත්තටයි ගොඩාක් අය කතා කරන්නේ. ‘ඔයිට වඩා මේ දේ කරානම් හොඳයි. ඕව කරලා වැඩක් නැහැ, ඕව කළා කියලා මොනවද ලැබෙන්නේ’ මේ වගේ විවිධ මතිමතාන්තර තමයි පැනනඟින්නේ. ඔබත් විවේචනයට ලක්වුණු කෙනක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් විවේචන විතරක්ම කර කර ඉන්න කෙනක් වෙන්නත් පුළුවන්. ඔබ මඳක් නතරවෙලා හිතලා බලන්න ඔබ කොතැන ද දැන් ඉන්නේ කියලා සහ ඔබ සිටිය යුතු තැන ද ඉන්නේ කියලා.

ඇතුළතත් සුන්දර කරගන්න

අප සතු භෞතික සම්පත් ගැන මහා ඉහළින් කතා කරනවා. ආඩම්බර වෙනවා. උගත්කම ගැන මාන්නයක් තියෙනවා. තම රූපය ගැන නිරෝගිකම ගැන හැම තැනකදීම කතා කරනවා. උපදෙස් දෙන්න පෙලඹෙනවා. තමන් තමයි ඉහළින්ම ඉන්න කෙනා බව අන් අයට ඒත්තු ගන්වනවා. මේ අය හරියට පිල්විදහා ගෙන නටන මොනරු වගේ. අප ඉදිරියේ නටන මොනරාගේ පිල් හරිම ලස්සනයි. හැමෝම අගය කරනවා. වර්ණනා කරනවා. නමුත් වටේ කැරකි කැරකි නටන මොනරාගේ පිටිපස්ස දැක්කම එය හරිම කැතයි. අප්‍රසන්නයි. ඒ නිසා ඔබ අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. මිනිසුන්ගේ ජීවිතවල, මතුපිටින් පෙනෙන සුන්දරත්වය ඇතුළතින් නැහැ කියන එක. අතළොස්සකගේ පමණයි පිටත හා ඇතුළත යහපත් හා සුන්දර. බහුතරයක් බොරුවෙන් ආටෝපයෙන් මවාගත් ජීවිත ගතකරන්නේ. එහෙම අය අතීතයයට යන්න බයයි. මොකද ඔවුන්ගේ අතීතය සුන්දර නැති නිසා. අතීතයට යෑම අවශ්‍ය වන්නේ නැහැ නමුත් අතීතයේ සුන්දර මතකයන් මෙනෙහි කරලා අනාගතය, වර්තමානය සුන්දර කරගන්න පුළුවන්.

 

උපදෙස් දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2020/01/01 තරුණි බලන්න