ලෝකය වෙනස් කරන කාන්තාවක් වන්න

ජනවාරි 8, 2020

සාර්ථක පුද්ගලයන් ඉඩ ප්‍රස්ථා සොයනවා, අසාර්ථක පුද්ගලයන් බාධක සොයනවා. මෙවැනි පුද්ගලයන් අප අතර ඉන්නවා. අඩක් පිරුණු වතුර වීදුරුවක් සාර්ථකත්වය හඹායන කෙනකුට දුන්විට ඇය එම වීදුරුවේ ඉතුරු අඩ පිරවීමට වතුර සොයනවා. ඒ සඳහා උත්සාහයන්වල යෙදෙනවා.

ඇය වතුර තියෙන තැන් සොය සොයා යනවා. වතුර පුරවාගෙන අන් අයටත් බෙදනවා. ඇය දන්නවා නැවත නැවත වතුර පුරවාගත හැකි බව. එම නිසාම ඇය අන් අයගේ පිපාසය සංසිඳවීමට උදවු කරනවා. තමනුත් හොඳින් වතුර බීලා සතුටු වෙනවා.

නමුත් නිතරම නැහැ, බැහැ කියමින් අසාර්ථකව ජිවත්වන කාන්තාවන් අඩක් පිරුණු වතුර වීදුරුව දකින්නේ භාගයක් පිරිලා නැහැනෙ කියලා. ඒ නිසා ඇය භාගෙට පිරුණු වතුරු ටික පරෙස්සම් කරනවා. “මට ලැබුණෙ මෙපමණයි නේ, මම මේක පරෙස්සම් කරගන්න ඕනේ” “කාටවත් දෙන්න හොඳ නෑ. පුළුවන් තරම් වතුර නොබී ඉන්න ඕනේ. නැත්නම් වතුර ඉක්මනට ඉවර වෙයි.”

මෙලෙස කල්පනා කරමින් ඇය එම වතුර වීදුරු භාගය පරෙස්සම් කරනවා. තමන් වතුර බොන්නෙත් නැහැ. කිසි කෙනකුට දෙන්නෙත් නැහැ. වතුර තියෙන තැන් දන්නෙත් නැහැ. තමන්ට ලැබුණෙ මෙපමණයි කියා එය රැකගෙන ඉන්න විතරක්ම බලනවා. ඔවුන් එකතැන පල්වෙනවා ජීවිතේ සතුට විඳින්නේ නැහැ. ඉතින් ඔබ මේ දෙවර්ගයෙන් කොයි පැත්තෙන් ඉන්න ද කැමැති. ඔබට පුළුවන් එය තීරණය කරන්න. ජීවිතේ ගෙවනකොට අප අරමුණු තනාගන්න ඕනේ. අලුත් අලුත් අරමුණු කාලෙන් කාලෙට ගොඩනැඟෙනවා. යහපත් අරමුණු අපිව සාර්ථක කරනවා. තමන් සතු දේ වැඩිදියුණු කරගෙන ජීවිතය දිනාගන්න අරමුණු හදාගන්නවා. ඒ අරමුණු හරහා ඉලක්ක ජයගන්නවා. ඔවුන් දකිනවා ජයගන්න පුළුවන් අවස්ථාවන්. මට මෙය කළ හැකි බව නිතරම ඔවුන් පවසනවා. ඒ සඳහා ඉඩ ප්‍රස්ථා කොපමණ තියනවා ද කියා නිතරම සොයනවා.

නමුත් අසාර්ථක පුද්ගලයන් දියුණුවෛන්න හිතනවා විතරයි. "ඕනේ නම් තමයි ඒත් අපිට බැහැනේ, ඕව කරන්න ගිහින් වැරැදුණොත් තියෙන ටිකත් නැති වෙනවා” ඔවුන් දකින්නේ බාධක, අපහසුකම්, ගැටලු විතරයි. ඔවුන් අනාගතය ගැන බියෙන් ඉන්නේ. වැරැදුණොත් මොනවා වෙයි ද?” කියලා හිතාගන්න බැරුව ඉන්නේ. අලුත් දේවල් සොයාගන්න, ඉගෙන ගන්න තොරතුරු රැස්කරගන්න උත්සාහ කරනවා. මෙවැනි අය තමුන් උගත් දේ, සොයාගත් දේ ක්‍රියාත්මක කරන්න අසීමිත බයක් තියෙනවා. ඔවුන් නිතරම සිතන්නේ වැරැදෙයි කියලා විතරමයි.

සාර්ථක පුද්ගලයන් උගත් දේ ක්‍රියාවට නංවනවා. මොනතරම් වැරැදුණත් ඔවුන් අලුත් යමක් ඉන් සොයා ගන්නවා. නිතරම ක්‍රියාත්මක වෙන අය සාර්ථකත්වයට ළංවෙනවා. අනිත් අයවත් ඒ සඳහා උනන්දු කරවනවා. ඔබත් එවැනි කාන්තාවක් වෙන්න. ප්‍රතික්ෂේප වීම්වලට බිය නොවන්න. සමාජයේ අපි ගොඩක් වෙලාවට දකින්නේ, එහෙමත් නැත්නම් අපි මුහුණ දීලා තියෙන්නේ පිළිගැනීම්වලට වඩා ප්‍රතික්ෂේප වීම්වලට. ඔබට, මට නොවෙන්න පුළුවන් නමුත් අපි දකිනවා. හිඟාකන පුද්ගලයන් දිහා බලන්න. ඔබ ගාවටම ඔවුන් කී දවසක් ඇවිත් ඇති ද? කී දවසක් ඔවුන්ට ඔබ මුදල් දී නොමැති ද? නමුත් හැමදාම ඔවුන් හිඟමනේ යෙදෙනවා. අපි කවුරු නොදුන්නත්, තව තැන් සොය සොයා ගිහින් තමන්ගේ දවසේ ඉලක්කගත මුදල සපුරා ගන්නවා.

ලෝකේ වෙනස් කරපු පුද්ගලයන් පටන් ගත්තේ පුංචි පුංචි වෙනස්කම් කිරීම් තුළින්. ඔබටත් පුළුවන් ඔබට වටිනාකමක් දීල වෙනසක් ඇති කරගන්න. ඔබට පුළුවන් බව නිතරම සිතන්න. පුංචි කාලේ වැටි වැටී ඇවිදපු අපි දැන් වැටෙන්න බයයි. දැන් පුළුවන් තරම් නොවැටී සිටින්න උත්සාහ කරනවා. ඒ උත්සාහය ඇතුළේ ඔබ නොදැනීම කොටු වෙනවා. අපි උත්සාහ කළයුත්තේ ඉගෙනගත යුත්තේ වැටෙන හැම වෙලාවකම කලින් වතාවට වඩා ශක්තිමත්ව නැඟිටින්නයි. ඒ සඳහා ඔබ සූදානම් විය යුතුයි. ඔබට ලැබෙන අභියෝග බාරගත යුතුයි. ඔබේ ගැටලු විසඳා ගැනීමේ මාර්ග හඳුනාගත යුතුයි. සාර්ථක පුද්ගලයන් තමා හමුවට එන අභියෝග බාරගන්නවා. ඔවුන් ඒවා දකින්නේ තමන්ට වඩා කුඩාවට. “අයියෝ ඕක මොකක්ද? ඕව විසඳගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙන්න මේකයි” “ප්‍රශ්න තියෙනවා, ඒවා අපි විසඳ ගන්නවා. ඒක ලොකු දෙයක් නෙමේ මට පුළුවන්” මෙවැනි වදන් ඔවුන් සතුයි. ඔවුන් ගැටලු, අභියෝග දකින්නේ කුඩාවට. ඒවා එකින් එක විසඳනවා. ජයගන්නවා. එලෙස ප්‍රශ්න දිහා බලන පුද්ගලයාට කොපමණ අභියෝගයන් විශාල වුවත් විසඳා ගැනීමේ, ජයගැනීමේ පුරුද්ද ඇතිවෙනවා.

ප්‍රශ්නවල විශාල කුඩාබව දකින්නේ ඔබගේ ආකල්ප මතයි. සාර්ථක පුද්ගලයන්. දියුණු වුණු අය දකින විට අසාර්ථක වුණු අය ඊර්ෂ්‍යා කරනවා. සාර්ථක වෙලා තියෙන්නේ, හැමදේම ලැබිලා තියෙන්නේ වංචාවෙන් කියා සිතනවා. නීතිවිරෝධී වැඩ කරනවා කියා සිතනවා. ආශ්‍රයට සුදුසු නැහැ කියා සිතනවා. ඔවුන්ව හෙළා දැකලා කතා කරන්න අසාර්ථක පුද්ගලයන් පෙලඹෙනවා. නමුත් ඇතුළතින් අසාර්ථක පුද්ගලයන් වේදනා විඳිනවා. ජීවිතය අවුල් කරගන්නවා. ඔවුන් හිතන්නේ දෙන දේවල් ගැන. දෙන දේ තමයි හොඳ ලැබෙන එක නරකයි. මේ තියෙන ටික ඇති කියලා. නමුත් කාලයත් සමඟ එන අවශ්‍යතාවන් මත තමන් සතු දේ මදිවෙනවා. අඩුපාඩු ඇති වෙනකොට ජීවිතේ ගැටලු වැඩිවෙනවා. ඔවුන්ට ඒවට විසඳුම් නැති වෙනවා. ඒව මඟ අරින්න බලනවා. හැංගිලා කොටුවෙලා ඉන්න වෙනවා අවසානයේ.

නමුත් සාර්ථක වෙන්න දඟලන පුද්ගලයන් නිරන්තරයෙන් තමන් සතුදේ වැඩි දියුණු කරගන්න මාර්ග සොයනවා. දෙන තරමට ලැබෙන බවත් ඔවුන් දන්නවා. ඒ නිසා දෙනවා වගේම ලබාගන්නත් ඔවුන් මහන්සි වෙනවා. යහපත් අරමුණු තුළින් ජීවිතය සාර්ථක කරගන්න ඉදිරියට ගමනක් යන්න ඔබත් සූදානම් වෙන්න.

ඔබට සුබ නව වසරක්

ජීවිතය හැඩකරගන්න, ධෛර්යයවත් කාන්තාවක් වන්න. ලෝකය වෙනස් කරන්න. අභියෝග ජයගන්න සූදානම් වන්න.

ඔබට ජය !

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා