සබඳතා රැක ගනිමින් ජීවිතය දිනමු..

ජනවාරි 15, 2020

ජීවිත කාලය තුළ දී අප කොතෙක් දේ දිනුව ද අපේ පෞද්ගලික ජීවිතය අසාර්ථක වුවහොත් එය නියම දිනුමක් නොවනු ඇත. බොහෝ විට ජීවිතයේ සාර්ථකත්වය හඹා යන අයට තමාගේ පෞද්ගලික ජීවිතය අහිමිවන බව තේරුම් නොයයි. එය තේරුම් යන දින වන විට රැක ගැනීමට කිසිවක් ඉතිරිව නැති බව බොහෝ අයගේ එවැනි ජීවිත දෙස බැලීමෙන් පෙනී යන කරුණකි.

එම නිසා ජීවිතය දිනීමට අප යන ගමනේ දී අපේ අනෙකුත් වටිනාකම් මෙන්ම ජීවිතය තුළ ඇති සබඳතා ද රැක ගැනීමට මතක තබා ගත යුතුය. බොහෝ විට අපට මඟ හැරෙන්නේ අත්‍යවශ්‍යම වන සමීප සම්බන්ධතා ය. එසේ නොවී අපගේ සමීපතමයන් හා වන බැඳීම් තව දුරටත් රැක ගනිමින් ඉදිරියට යාමට අපට හැකි විය යුතුය.

අද වෙනදාටත් වඩා ගොඩක් අවස්ථාවන්හි දී අපි එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරගැනීමට පෙලඹී සිටින්නෙමු. එහෙත් මෙය වාර ගණන වැඩි වීමක් පමණක් මිස එම සංවාදවල ඇති තීව්‍රතාව නැතිනම් ගැඹුර පිළිබඳ ගැටලුවක් පවතී.

අද පෙම්වතුන් දෙදෙනකු අප උදාහරණයක් ලෙස ගතහොත් ඔවුන් සෑම විටෙකම අනෙකා සිදු කරන දෙය පිළිබඳ දැනුවත්ව සිටින බව පැහැදිලි වේ. උදෑසන අවදි වූ විගසම පෙම්වතාට හෝ පෙම්වතියට කෙටි පණිවුඩයක් යවයි. බස් රථයට ගොඩ වූ විට කෙටි පණිවුඩයක් යවයි. එවැනි මාධ්‍යවලින් නිතරම තොරතුරු දැනගැනීමට හැකි වේ. එය තොරතුරු අප්ඩේට් කිරීමක් වැනිය.

දැන් මම අවදි වුණා. දැන් මම ගෙදරින් පිට වුණා. මම බස් එකට නැග්ගා. දැන් මම ඉන්නේ ටවුන්හෝල්වල. දැන් මම බස් එකෙන් බැස්සා, මම ඔෆිස් එකට ගියා. දැන් මම තේ බොන්න යනවා. දැන් මම කන්න යනවා. මම ඔෆිස් එකෙන් පිටත් වෙනවා. දැන් මම බස් එකෙන් බහිනවා. ලෙසින් දවසේ සිදු වන දේවල් විස්තර කරයි.

නමුත් සිතා බැලිය යුත්තේ මෙලෙස දින චර්යාව ගැන තොරතුරු ලබා දුන්න ද නිසි ලෙස දෙදෙනා හඳුනාගැනීමක් සිදු වෙනවාද යන්නයි. නමුත් මේ තොරතුරු හුවමාරුව දෙදෙනා හඳුනා ගැනීමට ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා මෙයට වඩා ගැඹුරු සංවාදයක නිරත විය යුතුයි. දැන් අපි ගැඹුරු සංවාදයක නිරත වනවාදැයි නැවතත් සිතා බැලිය යුතුයි. තොරතුරු පමණක් හුවමාරු කරගැනීම දිගු කාලීන සබඳතාවකට අවශ්‍ය පදනම නොදමයි.

ස්වභාවයෙන් ම අපේ සබඳතාවන් රැඳී පවතින්නේ ඉන් අපේ ජීවිතයට ලැබෙන දේ අනුවයි. බොහෝ වෙලාවට මම ඔබට ආදරය කරන්නේ ඔබ මට ආදරය කරනතාක් පමණයි යන්න අද සබඳතාවල ස්වභාව වී තිබේ. අපේක්ෂාවන් මුල් කරගත් සබඳතාවන් ගොඩනැගුණු විට එම අපේක්ෂා ඉටු නොවන විට සබඳතා ගිලිහී යාම ස්වභාවයි.

ඇතැම් පුද්ගලයන් අප ආශ්‍රය කිරීමට පෙලඹෙන්නේ අපට ඇති දේවල්, අපේ තනතුරු, හැකියාවන් ආදිය නිසයි. මේ දේවල් තිබෙන තාක් අප ළඟින් රැඳීමට මේ පුද්ගලයන් උනන්දු වේ. 'කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල..' ලෙසින් ජනකවියා වුවද පවසා ඇත්තේ මේ කරුණ පිළිබඳයි. මෙය අද පමණක් නොවේ, කලකට පෙර ද සමාජයේ පැවැති තත්ත්වයයි.

එමෙන්ම යම් යම් අය බලයේ සිටින විට වටේ සිටින පිරිස බලය නැති වූදාට නැති බව අප කාටත් පෙනෙන්නට තිබෙන දෙයක්. 'රාළහාමිගේ බල්ලා මැරුණම ගමම ආවත් රාළහාමි මැරුණම බල්ලෙක්වත් නෑ..' යැයි කියමනක් ජනවහරේ ඇත්තේ ද මේ නිසයි. එහි යටි අරුත වෙන්නේ බොහෝ සබඳතා පවතින්නේ ඉන් ලැබෙන ලාභ ප්‍රයෝජන මත පමණක් වීම බවයි.

එලෙස වූ අපේක්ෂාවක් නැති සබඳතා ද සමාජයේ පවතී. 'ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි..' ලෙසින් පවසන ආකාරයේ ආදරයක් පවතී නම් එය අපේක්ෂාවකින් තොර නිර්මල වූවකි. මෙහිදී එය අත්පත් කරගැනීමේ ලැදියාව ඇති නොවේ. ඒ අනුව අපේ ළබැඳියන් අතර ඇති සබඳතා පිළිබඳ වැඩි වශයෙන් සංවේදී විය යුතුය. අප තුළ ඇති ආකල්ප පිළිබඳ සිතා බැලිය යුතුය.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක දීපාල් සූරියආරච්චි

 

2020/01/15 තරුණි බලන්න