විශ්වසනීය ආදරයක් ලැබීමත් පෙර පිනක්...

ජනවාරි 22, 2020

ආදරය ලොව ඇති සොඳුරුතම හැඟීම්වලින් අග්‍ර වූවකි. ආදරයේ ද විවිධ වූ මුහුණුවර පවතී. විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතරේ ගොඩනැගෙන්නා වූ ආදරය ඉතාමත් සුන්දර ය. ආදරයේ මිහිර විඳින පෙම්වතුන් දෙදෙනකුගේ ප්‍රධාන ම සතුරා වන්නේ අවිශ්වාසය හා සැකයයි.

ආදරයෙන් කූඩු තනන යුවතිපතීන්ට පමණක් නොව, ඕනෑම ආකාරයේ සබඳතාවකට සතුරු ප්‍රහාර එල්ල කිරීමට අවිශ්වාසයත්, සැකයත් ප්‍රමාණවත් ය.

එය කුමනාකාරයේ දෙයක්දැයි ඇතැම් විට අපට සිතා ගැනීමට නොහැකි විය හැකියි. අද වෙන කවරදාටත් වඩා එකිනෙකා පිළිබඳ අවධානය මෙන්ම අවබෝධය ලබා ගත හැකි අවධියකි. එහෙත් ඇතැම් විට සහකරු හෝ සහකාරිය ගැන අප හොඳින් දන්නවා යැයි සිතුවත් එය එසේ නොවිය හැකිය. මන්ද තොරතුරු හුවමාරුව ඉතා හොඳින් ක්ෂණිකව සිදු වුවත් දෙදෙනා පිළිබඳ අවබෝධයක් ලැබීමට නොහැකි වීම නිසයි.

අනෙකාගේ සැකයට බඳුන් නොවී සිටීමට නම් ඔහුගේ හෝ ඇයගේ විශ්වාසය දිනා ගැනීමට පමණක් නොව, එය රැක ගැනීමට ද අපට හැකි විය යුතුය. විශ්වාසය යනු බිඳෙන බඳුනක් වැනි ය. එය වරෙක දී බිඳුණු විට යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි ය. ඇතැම් විට එම අවිශ්වසනීය කරුණු පිළිබඳ සමථයකට පැමිණ සම්බන්ධතාව රැකුණ ද එම බැඳීම තුළ විශ්වාසය, පිළිසකර කළ බිඳුණු බඳුනක් මෙනි. එහි කලින් වූ ඉරිතැලීම් වැසීම අසීරු ය. පෙර තිබූ අලංකාරය ලබා ගත නොහැකි ය.

සමන්තිකා හා අසේල එකිනෙකාට ආදරය කොට එක් නිවහනකට පැමිණියේ සොඳුරු යුගදිවියකට හිමිකම් කියමිනි. රුවින්, තත්ත්වයෙන් ආදී සෑම අයුරකින් ම රන් රස සේ පෑහුණ මේ යුවළ ඔවුන් වෙසෙන සමාජයේ ජනපි‍්‍රය චරිත විය. අසේල නීති ගරුක, සංවේදී පුද්ගලයෙකි. සමන්තිකා කඩිසර, යුතුකම් ඉටුකරන කාන්තාවකි. මේ දෙදෙනාගේ දිවිය මේ නිසාම රසවත් ව ගෙවී ගියේය.

එහෙත් දිනක් අසේලගේ මිතුරකු ඔහුට හමු වූ මොහොතේ විමසුවේ 'ඇයි මචං උඹලට මුකුත් ප්‍රශ්නයක් ද.. වයිෆ් මගෙන් සල්ලි වගයක් ඉල්ලුවා.. උඹට කියන්න එපා කියලත් කිව්වා.. ඒත් මට උඹට කියන්නෙ නැතිව බෑනේ..' යනුවෙනි. මෙය අසේලගේ අභිමානයට එල්ල කළ දැඩි පහරක් විය.

නිවෙසට පැමිණි ඔහු සමන්තිකාගෙන් මේ පිළිබඳ විමසුවත් ඇය කියා සිටියේ තමා එලෙසින් මුදල් නොඉල්ලූ බවයි. මේ උභතෝකෝටිකය අසේලගේ කෝපය ඇවිස්සීමට සමත් විය. දිගින් දිගටම විමසීමේ දී සමන්තිකා කියා සිටියේ තමා මුදල් ඉල්ලූ බව සත්‍ය බවත් එය තම සහෝදරයකුගේ අවශ්‍යතාවක් බවත් ය.

එහෙත් මෙම සිදුවීමෙන් පසුව අසේලගේ සිතෙහි සමන්තිකා පිළිබඳ තිබූ විශ්වාසය පළුදු විය. ඇය තමාට නොකියන දේ ඇති බවත්, තමාට සත්‍ය පැවසීමට ඇයට අවශ්‍ය නැති බවත් සිතා ඔහු හුදෙකලා වන්නට විය. දෙදෙනා අතර තිබූ ආදරය ඈත් විණි. ඔවුන්ගේ සම්බන්ධතාව යුතුකම්, වගකීම් අතර පමණක් හුවමාරු වන්නක් බවට පත් වූයේ මේ විශ්වාසය කඩ වීම් ගැන සමන්තිකා තැකීමක් නොකිරීම නිසයි.

ඇතැම් විට ඔබ සැමියා බණීවි, නැතිනම් ඔහු මේ දෙයට එපා කියාවි යැයි සිතා ඇතැම් කාරණා ඔහුට නොකියන්නට, සඟවන්නට වෑයම් කළා විය හැකිය. එහෙත් දැන් පවතින තත්ත්වයට වඩා අනාගතය ගැන සිතා තීරණ ගත යුතුය. ආදරය කරන දෙදෙනෙක් තනි තීරණ ගැනීම කිසිසේත් ම එම සබඳතාව කුමන තත්ත්වයේ තිබෙන්නක් වුවද එයට සුදුසු නොවේ. අප රහසේ ගන්නා ඇතැම් තීරණ වැරැදී ගිය විට එය කෙසේ හෝ එළිවීම වැළැක්විය නොහැකි ය.

2020/01/22 තරුණි බලන්න