සාර්ථක සබඳතාවකට තේරුම් ගැනීම වැදගත්...

පෙබරවාරි 12, 2020

ආදරය සම්බන්ධතා ගොඩනංවයි. එහෙත් ගොඩනැගෙන සබඳතා රැක ගැනීමට අප උනන්දු විය යුතුය. විශේෂයෙන් ම අද පවතින සංකීර්ණ සමාජයේ දී සම්බන්ධතා රැක ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නමුත් ජීවිතය දිනීමේදී අපේ පෞද්ගලික ජීවිතය ද සමබරව පවත්වා නොගතහොත් අප ජීවිතය දිනුවා වන්නේ නැත. එය ජීවිතයෙන් කොටසක් පමණක් දිනූවකි.

සබඳතා සාර්ථකව පවත්වාගෙන යාමට නම් අප ඒ සඳහා කළ යුතු වන්නේ අනෙකා කෙරෙහි අවධානය, ආදරය ලබා දීමයි. ඒ අනුව සංවාද, සංවේදී වීම, සහයෝගය යන තෙවැදෑරුම් කරුණු වැදගත් වන බව අප පසුගිය සතියේ දී ඔබට පැවසුවෙමු.

එහිදී ඉන් පළමුවැන්න වන සංවාද පිළිබඳ අප වැඩි වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර අද සංවේදී වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද හා ඉන් සබඳතාවට ලැබෙන වටිනාකම පිළිබඳ වැඩිදුරටත් කරුණු සාකච්ඡා කරමු.

ඒ සඳහා පළමුවෙන් ම අප මේ මොහොතේ දී තමාගේ සිත තුළ පවතින සිතුවිලි, සිතැඟි නැතිනම් මනෝභාවයන් පිළිබඳ සංවේදී විය යුතුය. බොහෝ විට අප අතින් ඒ පිළිබද දැනුමක් නැති නිසා සිදුවන අතපසුවීම් බොහෝ ය. මම මේ වෙලාවේ ඉන්නේ කේන්තියෙන් බව දන්නවා නම් ඒ මොහොතේ මුවින් පිටවන වදන් පිළිබඳ අවධානයෙන් සිටිය හැකිය. මම මේ වෙලාවේ හිතේ කනස්සලකින්, දුකකින්, විපිලිසර බවකින් ආදී කුමක් හෝ හැඟීමකින් ඉන්නා බව දන්නවා නම් එය සංවේදී වීමේ පළමු පියවර බවට පත් වේ.

එහිදී මේ සිතේ පවතින හැඟීම නිසා මගේ අතින් විය හැකි දේ පිළිබඳ දැනුම්වත් බවක් ඔබට ඇති වේ. මේ දැනගැනීම නිසා තමා තුළම ස්වයං විනයක් ඇතිකර ගත හැකියි. අපේ සිතේ පවතින හැඟීම පිළිබඳ නොසිතා, එය හඳුනා නොගෙන කටයුතු කිරීමෙන් අනෙක් පුද්ගලයාගේ සිත රිදෙන, කලකිරීම් ඇතිවන දේ අපේ මුවින් මෙන්ම ක්‍රියාවෙන් ද සිදු විය හැකි අවස්ථා මඟ හරවා ගැනීමට ස්වයං වාරණයක් ඇතිකර ගත හැකිය. මෙය එළඹි සිහියෙන් කටයුතු කිරීම යැයි පැවසිය හැකිය. එළඹි සිහියෙන් සිටීමෙන් අප අතින් සිදු විය හැකි බොහෝ අනවශ්‍ය දේ මඟ හරවා ගැනීමට පුළුවන.

කේන්තියෙන් සිටි බොහෝ දෙනා පසුව එම තත්ත්වය පිළිබඳ පවසන වදන් ඔබ අසා ඇති. ' ඒ වෙලාවෙ මට මොනවා වුණාද කියලා මම දන්නේ නෑ.., මට ඒ වෙලාවේ උන්නා මළා පෙනුනේ නෑ.. කිව්වට පස්සෙ තමයි මොකක්ද කිව්වේ කියලා හිතුණේ..' මෙවැනි වදන් ඇතැම්විට ඔබේ මුවින් ද පිට වී ඇති. සංවේදී වීමේ පළමු පියවර මෙයයි. එනම් තමා තමාට සංවේදී වීමයි.

දෙවනුව සිදු කළ යුත්තේ තමා අනෙක් පුද්ගලයාට සංවේදී වීමයි. අනෙක් පුද්ගලයාට සංවේදී වෙන්නේ කෙසේද යන්න අපි දැනගත යුතුය. සතිමත් වීමෙන් තමා මේ අවස්ථාවේ සිටින්නේ කුමන මානසිකත්වයකින් ද යන්න දැනගත හැකිය. මෙවිට තමාට තමා ගැන විශ්වාසය වර්ධනය වේ.

අනෙක් පුද්ගලයාගේ සිතේ මේ මොහොතේ ඇතිවන මනෝභාවයන් පිළිබඳ සිතා බැලිය යුතුය. ඒ සඳහා අප සතුව ඉවක් තිබිය යුතුය. මේ සඳහා අපි කළ යුත්තේ මොනවාදැයි ඔබට සිතිය හැකිය.

මෙහිදී අනෙක් පුද්ගලයා කියන දේ හොඳින් සාවධානව අසා සිටිය යුතුය. අනෙක් පුද්ගලයා සියල්ල පවසනතෙක් ඉවසීමෙන් හා අවධානයෙන් අසා සිටිය යුතුය. මේ සඳහා ඉවහල් වන 'සංවාද' යන්න අපි පසුගිය සතියේ කතා කළෙමු. බොහෝ සබඳතාවල ගැටලු ඇතිවන්නේ අප විසින් අනෙක් පුද්ගලයා පවසන දේ අවසානය දක්වා අසා නොසිට එයට පිළිතුරු දීමට හෝ ප්‍රශ්න ඇසීමට පෙලඹීම නිසයි. එවිට අපිට අනෙක් පුද්ගලයා තේරුම් ගැනීමට අවස්ථාව නොලැබී යයි. එමෙන්ම තමාට එය තේරුණේ කෙසේදැයි ප්‍රතිඋච්චාරණය කිරීමට නොහැකි වේ.

'ඔයාට දැන් හොඳටම කේන්ති ගිහින් නේද ඉන්නේ.., දැන් ඔයා කලකිරීමකින් නේද ඉන්නේ.., ඔයාට ඒකට දුක හිතුණා නේද?' මෙය එක් ආකාරයක ප්‍රතිඋච්ඡාරණයකි. එවිට 'මට ඔයාගේ මනෝභාවය තේරෙනවා' යැයි දැනවීමට හැකිය. මෙය සහසංවේදී බව ලෙස හඳුන්වයි. අනෙකා පවසන දෙය වටහා ගැනීම පමණක් නොවේ, ඔහු හෝ ඇය සිටින මනෝභාවය වටහා ගැනීම මෙම සහසංවේදී බවයි. අනෙකාට දැනෙන දේ තමාට ද දැනෙන බව දැනෙන්නට ඉඩ හැරිය යුතුය. එවිට එකිනෙකා අතර ඇති බැඳීම දැඩි වේ.

යම් දෙයකට ඔබේ සැමියාට හෝ බිරියට දුක හිතුණා යැයි සිතමු. එවිට ඔහුගේ සිතට දුකක් ඇති වූ බව ඔබට දැනුණු විට 'ඔයාට දුක හිතිලා නේද ඉන්නේ..' 'දුකයි තමයි ඉතිං මොකද කරන්නේ..' යැයි පැවසිය හැකිය. නමුත් එහි කිසිඳු සංවේදී බවක් ළතෙත් බවක් නැත. ඉන් 'මගේ දුක ගැන මෙයාට කිසි ගානක් නෑ..' යැයි අනෙක් පුද්ගලයාට හැඟීමට ඉඩ තිබේ. ඒ නිසා අපි ඒ හැඟීම අපට ද දැනෙන බව ඇඟවිය යුතුය.

දුකක්, සන්තාපයක්, කලකිරීමක් වැනි හැඟීමක් ඇති වූ අයකු සිටින්නේ අසරණභාවයකිනි. එම අසරණභාවය පිළිබඳ හැඟීමක් අනෙක් පුද්ගලයා තුළ පැවතිය යුතුය. ඔහු හෝ ඇය පවසන දෙයට පිළිතුරු දීමට වඩා වැදගත් වන්නේ එවැන්නක් පැවසුවේ ඇයි යන්න තේරුම් ගැනීමයි. මේ සඳහා ඇහුම්කන්දිය යුතු වන්නේ සමස්ත භාවයන්ම උපයෝගී කරගනිමිනි. එනම් ඇස්, කන්, සිත යනාදී සියලුම ඉන්ද්‍රියයන් උපයෝගී කරගනිමිනි. එවිට කියන දේට වඩා අපිට ඔහු හෝ ඇය කියන දේ හැඟේ.

ඇතැම් විට පවසන දේට වඩා ඒ පවසන දෙයෙහි යටි අරුතක් තිබිය හැකිය. පිරිමින් හා ගැහැනුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම් ද වෙනස් ය. පිරිමියාගේ ජීව විද්‍යාත්මක ස්වභාව හා ගැහැනියගේ ස්වභාව වෙනස් වේ. මෙය ද තේරුම්ගෙන කටයුතු කළ යුතු තත්ත්වයකි.

සාමාන්‍යයෙන් වැඩ ඇරී නිවෙසට පැමිණි ස්වාමියා ස්වල්ප වේලාවක් නිවී සැනසිලේලේ සිටීමට කැමැත්තක් දක්වයි. රූපවාහිනිය බැලීම, පත්තරයක් බැලීම ආදිය සිදු කරන්නේ ද මේ ඉහිල්වීම සඳහායි. මෙය දඩයම් යුගයේ සිටම පැවතෙන දෙයකි. දඩයමේ ගොස් පැමිණෙන පිරිමියා ඉන්පසුව නිවී සැනසිල්ලේ සිටීමට කැමැත්තක් දක්වයි.

එහෙත් ගැහැනිය මෙයට සම්පූර්ණයෙන් වෙනස් වේ. සාමාන්‍යයෙන් ගැහැනියක් දවසේ සියලු සිදුවීම් සැමියාට පැවසීමට බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. ඇය සැමියා නිවෙසට පැමිණි විගස දරුවන්ගේ තොරතුරු, විදුලි බිල ගැන, අසල්වැසියන්ගේ තොරතුරු, පැමිණි දුරකථන ඇමතුම් ආදී සියලු දේ පිළිබඳ තොරතුරු පැවසීමට ඇයට අවශ්‍ය වේ. මේ එකිනෙකාගේ තත්ත්වයන් එකිනෙකා තේරුම් ගත යුතුය.

සැමියා විසින් බිරියගේ කතා කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දැනුවත් විය යුතු සේ ම බිරිය විසින් සැමියාගේ ඉහිල්වීමේ කාලය පිළිබඳ දැනුවත් බවකින් සිටිය යුතුයි. මේ පිළිබඳ නිසි දැනුවත් බවකින් නොසිට ක්‍රියා කිරීමට යාමෙන් බොහෝ අඹුසැමියන් අතර පමණක් නොව, මව්වරුන් හා පුතුන් අතර පවා ගැටලුකාරී තත්ත්වයන්, ගැටුම් ඇති වේ. මෙය එකිනෙකා තේරුම් ගැනීමයි.

ගැහැනිය හා පිරිමියාගේ අදහස් ප්‍රකාශ කිරීම ද වෙනස් වේ. බිරියක් 'හැමදාම ඔයා පරක්කුවෙලානෙ එන්නේ..' යැයි පැවසුවහොත් එයට පිරිමියා 'මොකද්ද හැමදාම මම ගිය බදාදාත් වෙලාවට ගෙදර ආවනේ..' යැයි පවසයි. මෙහිදී පිරිමින් නිතරම නිශ්චිත කරුණට අදාළව කතා කරන බවක් ගම්‍ය වේ. නමුත් මෙහිදී ද තේරුම් ගත යුත්තේ දෙදෙනාට තේරුම් යන ස්වභාව දෙයාකාර බවයි.

ගැහැනිය හා පිරිමියා ස්වභාවයෙන් වෙනස් ජීවීන් දෙදෙනෙකි. ඔවුන්ගේ සිතන පතන ස්වභාවය පවා වෙනස් වේ. මේ වෙනස්කම් තේරුම්ගෙන එයට අනුව ඔබේ ක්‍රියාකාරකම් හසුරුවා ගැනීමෙන් ගැටලු ඇති වීම වළක්වා ගත හැකිය.

ඕනම සබඳතාවක පවතින මූලික සංකල්පය වන්නේ 'මම ඔබට සංවේදීද' යන්නයි. ඔබට දැනෙන දේ මටත් දැනෙන බව අඟවන්න. ඇතැම් විට මෙවැනි දැනෙන සබඳතාවක කතාබහ වැඩියෙන් නොතිබිය හැකිය. තමාට අනෙකා තේරුම් ගැනීමට හැකි වූ විට සබඳතාව ශක්තිමත් හා දිගුකාලීන වේ.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි